රොමේෂ් සතුටු කළ මන්දාකිණි කවුද?

  👤  2431 readers have read this article !
Published by : MB WEB 2017-08-22 15:17:43

මන්දාකිණි ගීතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක රොමේෂ් සෑහෙන්න සතුටකින්ලු නේද ඉන්නේ?

ඔව්, ඇත්තටම ලොකු සතුටකින් මම ඉන්නේ. මේ නිර්මාණෙත් එක්ක මට දැනෙන්න ගත්තා අපේ ලංකාවේ රසිකත්වය කොච්චර ඉහළින්ද දැන් තියෙන්නෙ කියලා. යූටියුබ් චැනල් එකට ලැබිලා තියෙන ප්‍රතිචාරවලිනුත් මට තදින්ම දැනුණා, මේක තමයි අද කාලෙ රසිකයො මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. කොටින්ම ඒ කමෙන්ට්ස් කියවද්දී මට ඇඬුණු අවස්ථා පවා තිබුණා.

දිගු දෑස ගීතයත් එක්ක විරහ ගී රැල්ලක් හදපු රොමේෂ් අලුත් ගීතය හැදුවේ ඒ රැල්ල තමන්ම කඩන්න ඕනෙ කියලා හිතුණු නිසාද?

රැල්ලක් කඩන්න මට ඕන වුණේ නැහැ. මම දිගු දෑස හදනකොටත් කිසිම රැල්ලක් ලංකාවෙ තිබුණෙ නැහැ. ඒ වගේම තමයි රැල්ලක් හදන්න බලාගෙන මම දිගු දෑස කළෙත් නැහැ. නමුත් ඒ ගීතය මම නොහිතපු විදියට සාර්ථක වුණා. ඒත් එක්කම රිගින්ටෝන් පැත්තෙනුයි, රූප රචනා පැත්තෙනුයි, විරහා ගීත පැත්තෙනුයි, වෙනම රැල්ලක් ඇති වෙන්න ගත්තා. ඉතින් ඒකට මම මොකුත් කියන්නේ නැහැ. නමුත් මන්දාකිණි එක්ක මට ඕන වුණේ හිත සතුටින් කියන්න පුළුවන් ගීතයක් නිර්මාණය කර ගන්න එක.

ඒ කියන්නේ මන්දාකිණි හැදෙනකල් රොමේෂ් හිටියේ හිත සතුටින් නෙවෙයිද?

දිගු දෑස ගීතයත් එක්ක පටන් ගත්ත විරහ ගීත රැල්ල පස්සෙ කාලෙක අතිශය බොළඳ වචන එක්ක ගීත හැදෙන මල් සින්දු රැල්ලක් දක්වාම එන්න ගත්තා. මේ දේවලුත් එක්ක සමහරු මටත් බැන්නා, දිගු දෑස එක්ක තමයි මේ රැල්ල ඇති වුණේ කියලා. ඒ වගේම සමහර සංගීත ප්‍රසංගවලට ගියාම මටම දුක හිතුණු අවස්ථාත් ආවා. මමත් වේදිකාවට නැඟලා තවත් විරහ ගීතයක් කියලා බැස්සම මිනිස්සු මේ වේදනාව කොහොම දරා ගනීද කියලා මට හිතුණා. ඉතින් ඒ දේවලුත් එක්ක හිතේ ඇති වෙලා තිබුණු අසතුට නැති කරගන්න තමයි ඇත්තටම මම මන්දාකිණි නිර්මාණය කළේ.

මේ ගීතයේ පද පෙළත් වෙනස්ම ආරකට නේද ලියවිලා තියෙන්නේ?

ඔව්, මේක ලිව්වේ සජිත් අක්මීමණ. ඔහු නවක ගී පද රචකයෙක්. මගේ රවටන්න එපා ගීතය රචනා කළෙත් ඔහුමයි. මන්දාකිණි ගීතයෙ තියෙන අර්ථය ගත්තත් හොඳ ගැඹුරක් තියෙන විදියට ලියැවිලා තියෙනවා. ඒ වචන තුළ ශෘංගාරය වගේම අමුතු ශක්තියකුත් එකතු කරලා තියෙනවා. ඉතින් බොළඳ ගී පද අහලම එපා වෙච්ච මිනිස්සු වෙනුවෙන් වෙනසක් කරන්න හිතාගෙනමයි මම මෙවැනි පද පෙළක් මේ නිර්මාණයට යොදා ගන්න හිතුවෙ.

මන්දාකිණි වෙනුවෙන් සිදු කරපු වෙනස්ම ආරේ රූපරචනය ගැනත් මතක් කළොත් ?

ඔව්, මේ රූප රචනයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ගීපද රචකයෙක් ප්‍රථම වතාවට මියුසික් වීඩියෝවක් අධ්‍යක්ෂණය කිරීම. සජිත් අක්මීමණ තමයි මේ රූප රචනයේ සම්පූර්ණ කතාව හදන්නේ. අනෙක් අතට මේකේ ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ සනෝලි සහ රැන්ඩි. ඉතින් මේ වගේ අලුත් චරිත දෙකක් යොදා ගැනීමත් වෙනසක්. ඒ වගේම ඤභඡඵබඥන වීඩියෝවල ලොකු කතාන්දර ගොඩනඟන්න බැහැ. හැම තිස්සෙම තියෙන්නේ පුදුමයක් විතරයි. ඉතින් චතුර දේශප්‍රියගේ කැමරාකරණයත්, නිශාන් බී ගේ සංස්කරණයත් වගේම ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංකලනයක් එක්ක ඒ විශ්මය අපිට මේ ගීතයට ගේන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා.

අලුත් ගීතයේ රූප රචනයට සරාගී දර්ශන පෙළකුත් කාවැද්දුවේ එවැනි දර්ශන නැතුව දැන් ගීත හිට් කරන්න බෑ කියන මතය නිසාද?

නෑ. ඒක නම් වැරැදි කතාවක්. එක එක්කෙනාට එහෙම මත තියෙන්න පුළුවන්. නමුත් මම ක්ෂේත්‍රයට ආවේ අනුකරණය කරලාවත් මොනවාහරි දෙයක් පෙන්නලවත් නෙවෙයි. ඉතින් මගේ කටහඬ උපයෝගි කරගෙන ඒ දක්ෂතාවයෙන්ම ක්ෂේත්‍රයට පිවිසුණු කෙනෙක් විදියට මට සරාගික දර්ශන පෙන්නලා ජනප්‍රිය වෙන්න වුවමනාවක් කොහෙත්ම නෑ.

රූප රචනා තිබුණත් නැතත් රොමේෂ් ලක්ෂාන් එකතුවෙලා කරපු ගීතවලට බොහෝදෙනෙක් තාමත් ඇලුම් කරනවා නේද?

අනිවාර්යයෙන්ම. ඕකට හොඳම උදාහරණයක් තමයි 'මාගේ සුකුමල සඳ කුමරී' ගීතය. ඒකට තවමත් වීඩියෝ එකක් නැහැ. ඒකෙ ජනප්‍රියත්වය අඩු වෙලත් නැහැ. දිගු දෑස ගත්තත් ගීතයක් විදියට හිට් වුණාට පස්සෙ තමයි ඒකට වීඩියෝ එකක් කළේ. ඉතින් ඒ කාලේ කරපු ගොඩක් ගීත තියෙනවා වීඩියෝ නැතත් අදටත් ජනප්‍රිය. නමුත් රූප මාධ්‍යයේ දැන් තියෙන දියුණුවත් ජනප්‍රියත්වයත් එක්ක ගීතයකට රූප රචනය කියන එකත් කළ යුතු අංගයක් බවට පත්වෙලා තියෙනවා.

නිර්මාණ කරද්දි සංගීතඥයෙක් විදියට රොමේෂ් මුල් තැන දෙන්නේ තමන්ගේ කැමැත්තටද රසික කැමැත්තටද?

මුල් කාලයේ ගත්තොත් අපි අපේ කැමැත්තට නිර්මාණ කරලා තමයි ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ තමයි මගේ වටා රසික පිරිසක් ගොඩනැඟෙන්නේ. ඉතින් ඒ දවස්වල මම කරපු සංගීතය හැමෝම වින්දා. ඊට පස්සේ මම වෙනස් ආරකට බැස්සා. ඒත් එක්කම එකම ආරෙක ඉන්නවා කියලා රසිකයෝ මට බනින්න ගත්තා. ඉතින් මමත් හිතුවා ගායකයෙක් විදියට අපිට මිනිස්සුන්ගේ ආශාව ඉෂ්ට කරන්න බැරි නම් අපෙන් වැඩක් නෑ කියලා. මන්දාකිණි එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැන් තදින්ම දැනෙනවා රසික කැමැත්තට මුල් තැන දෙන එක ගොඩක් වටිනවා කියලා.

රොමේෂ්ගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මන්දාකිණි ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ Slow beat ගීතයක් විදියටනේ. ඉතින් ඉස්සරහට උන Up beat ගීතයක් තමයි එළියට දාන්න හිතන් ඉන්නේ. අලුත් තාක්ෂණයක් එක්ක වෙනස්ම ආරකට හැදුණු ගීතයක් විදියට තව මාස දෙක තුනකින් ඒ ගීතයත් රසිකයෝ අතරට ගේනවා.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්