විශේෂ අධිකරණයක් පිහිටුවීමට නීතිමය හැකියාවක් නෑ

  👤  2187 readers have read this article !
Published by : MB WEB 2017-08-22 11:36:41

කේ.එස්. උදයකුමාර්

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙසේ කීය.

පසුගිය රජයේ ඇතැම් පුද්ගලයන් සිදුකළ වැරැදි පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට නියමිත බවට මත පළවී තිබෙනවා. එවැනි විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න අපේ නීතියේ කිසිම ප්‍රතිපාදනයක් නැහැ. පසුගිය රජය සමයේ වූ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා එෆ්.සී.අයි.ඩී. (පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය) ආයතනය ස්ථාපිත කිරීම පිළිබඳවත් දැන් අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබෙනවා"

යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා එවැනි විශේෂ අධිකරණයක් ස්ථාපිත කළහොත් එය නීතිය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව පවතින බවද ප්‍රකාශ කළේය.

මෙවැනි චෝදනා විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා සඳහන් කළේය.
"කොළඹ මහාධිකරණයේ මහාධිකරණ ශාලා 07ක් තිබෙනවා.

එහි මහාධිකරණ විනිසුරුවරු 07 දෙනකු ඉතා කාර්යක්ෂම ලෙස නඩු විමසීමේ කටයුතුවල නිරත වී සිටිනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් විමර්ශනය කළ නඩු කිහිපයක්ම දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර ඇතැම් නඩු අවසන් අදියරට පැමිණ තිබෙනවායි සඳහන් කළ ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා අපරාධ නඩු විමර්ශනය කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් තිබියදී ඒ සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද කීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා සඳහන් කළේ පදනම් විරහිතව නීතිපති දෙපාර්තමේන්තුව වෙත චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්