ඇමෙරිකානු යුද නැවක් ගැටෙයි;අතුරුදහන් නැවියන් සෙවීමේ මෙහෙයුමක්

  👤  1588 readers have read this article !
Published by : MB WEB 2017-08-21 15:21:12

මලක්කා සමුද්‍ර සන්ධියේ දී ඇමෙරිකානු යුද නැවක් වෙනත් තෙල් නැවක ගැටීමේ දී අතුරුදහන් වූ නාවික හමුදා භටයන් සෙවීමේ මෙහෙයුම තවමත් පෙරට යමින් පවතී.

එක්සත් ජනපද ජෝන් මැකේන් (USS John McCain) යුද නෞකාව ලයිබීරියානු ධජය සහිතව යාත්‍රා කරමින් තිබුණ තෙල් නැවක ගැටී ඇති අතර, එම අනතුරින් ඇමෙරිකානු නැවියන් පස් දෙනකු තුවාල ලද බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

හරියටම මෙයින් මාස දෙකකට පෙරත් ඇමෙරිකානු නාවික යාත්‍රාවක් මෙම කලාපයේදීම භාණ්ඩ ප්‍රවාහනය කෙරෙමින් තිබුණ නැවක මේ ආකාරයටම ගැටීමෙන් ඇමෙරිකානු නැවියන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් විය.

මාස දෙකකට පෙර ගැටුණ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS ෆිට්ස්ජෙරාල්ඩ් (USS Fitzgerald) නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව පසුගිය සතියේ නිවේදනය කරනු ලැබ තිබියදී මෙම දෙවන අනතුර සිදු විය.

ලයිබීරියානු තෙල් නැවේ ගැටුණ ජෝන් මැකේන් (USS John McCain) යුද නෞකාව බරින් ටොන් තිස් දහසක් වන අතර දිගින් අඩි හයසීයකි.

අතුරුදහන් නැවියන් සොයා සිදු කෙරෙමින් ඇති මෙහෙයුමට ඇමෙරිකානු හෙලිකොප්ටර් යානා මෙන්ම මැලේසියානු සහ සිංගපූර් නැව් හවුල් වෙමින් ඇත.

ලයිබීරියානු තෙල් නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් දුරකථනය මගින් රොයිටර් පුවත් සේවයට තොරතුරු සපයමින් නැව් දෙක ගැටීමේ දී ඔවුන් ගමන් ගන්නා යාත්‍රාවටත් අලාභ හානි සිදුව ඇති බව සඳහන් කර ඇත.

එම ප්‍රකාශකයාට අනුව ලයිබීරියානු යාත්‍රාව තායිවානයේ සිට තෙල් ටොන් 12000 ක් පමණ සිංගපූර් වරායක් කරා ප්‍රවාහනය කරමින් තිබුණි.

අතුරුදහන් ඇමෙරිකානු නාවික හමුදා භටයන් පිළිබඳව සෝදිසියෙන් සිටින ලෙස මැලේසියාව සිය රටේ ධීවරයන්ට දැනුම් දී ඇත.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්