ෆින්ලන්තයේ පිහි ඇනුම් 'ත්‍රස්ත ප්‍රහාරයක්'

  👤  1643 readers have read this article !
Published by : MB WEB 2017-08-20 13:08:14

නිරිත දිග ෆින්ලන්තයේ ටර්කු (Turku) නගරයේදී සිකුරාදා සවස කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව පොලිසිය පවසයි.

පාදයට වෙඩි තැබීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රහාරකයා 18 හැවිරිදි මොරොක්කෝ ජාතිකයෙකු බවත් පොලිසිය නිවේදනය කළේය.

නිරිත දිග ෆින්ලන්තයේ Puutori-Market Square ප්‍රදේශයේදී පිහියෙන් ඇන මරා දමා තිබෙන දෙදෙනාම ෆින්ලන්ත ජාතික කාන්තාවෝය.

ස්වීඩන ජාතිකයෙකු සහ ඉතාලි ජාතිකයෙකු ඇතුළු අට දෙනෙකු එහිදී තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් අනතුරුව රාත්‍රිය මුළුල්ලේ ප්‍රදේශය පීරමින් පොලිසිය සෝදිසි මෙහෙයුම්වල යෙදීමෙන් අනතුරුව නිවේදනයක නිකුත් කළ පොලිසිය පවසන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙසින් සලකා මුලින් සිය පරීක්ෂණ ආරම්භ කළ බවය.

"එහෙත් රාත්‍රී කාලයේ අපට ලැබුණු අතිරේක තොරතුරු අනුව මේ අපරාධ ත්‍රස්තවාදී ඝාතන බව විශ්වාස කළ හැකිය," යනුවෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සැකකාර මොරොක්කෝ ජාතික තරුණයාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙන බව පොලිසිය පවසන නමුත් එය ප්‍රකාශයට පත්කර නැත.

ප්‍රහාරකයා සහ තවත් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිති.

ටර්කු නගරයේ Puutori-Market Square ප්‍රදේශයේදී එහි ගමන කරමින් සිටි පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමෙන් අනතුරුව ප්‍රහාරකයා චතුරශරය වෙත දිවගොස් තවත් පිරිසකට පිහි පහර එල්ල කළ බව ඇසින් දුටුවෝ පැවසූහ.

ඒ අවස්ථාවේ එහි පැමිණි පොලීසය ඔහුට වෙඩි තබා, ඔහු අත්ඩංගුවට ගෙන තිබේ.

ෆින්ලන්තය මීට පෙරාතුව කිසිදු ජිහාඩ්වාදී ප්‍රහාරයකට මුහුණ දී නැත.

රට පුරා බොහෝ ස්ථානවල ජාතික ධජ අඩ කුඹු කර තිබෙනු දකින්නට ලැබිණ.

ෆින්ලන්තයේ එම ප්‍රහාරය එල්ල වූයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් 13 දෙනෙකුවත් මියයාමෙන් දිනකට පසුවය.

ඉන් පැය කිහිපයකට පසුව ස්පාඤ්ඤයේ කම්බ්‍රිල්ස් (Cambrils) ප්‍රදේශයේ එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් යයි සැක කෙරෙන පස් දෙනෙකු මරා දැමූ බවත් ස්පාඤ්ඤ පොලිසිය පවසයි.

(BBC)

 


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්