ස්වයංපාලන නැව් 2020 සිට සයුරට

  👤  2046 readers have read this article !
Published by : MB WEB 2017-08-18 15:22:46

ස්වයංපාලක නැතහොත් ඉබේ ධාවනය වන කාර්, මෝටර් සයිකල් පමණක් නොවෙයි හෙලිකොප්ටර් ගැන පවා ටෙලෙස්කෝප් හරහා පාඨක ඔබ දැනුවත් වෙන්නට ඇති. මේ ස්වයංපාලක රැල්ලට අලුතෙන්ම එක්වෙන සාමාජිකයා කවුද කියා අවධානයෙන් සිටි ඔබට ස්වයංපාලක නැව් ගැන අලුත්ම තොරතුරක් ටෙලෙස්කෝප් හරහා දැනගන්නට ලැබීම, ඒ තරම් පුදුමයට කාරණය නොවෙන්නට පුළුවන්.

ජාත්‍යන්තර නැව් ගමනාගමනය, ශත වර්ෂ ගණනාවක් පුරාවට ලෝකය වෙනස් කරමින් පවතින අතර, ගුවන් ගමන් ආරම්භ වුවත්, මහද්වීපයකින් තවත් මහද්වීපයකට විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට අදටත් නැවට වඩා සුදුස්සක් බිහිවී නැහැ.

නැව් සදාකාලිකව පැවතිය හැකි මුත්, නාවිකයන් නැතහොත් සෙලරුවන් නොබෝ දිනකදී අතීතයට එක්විය හැකියි. නෝර්වේ හි සමාගම් දෙකක් සහයෝගයෙන් ක්‍රියා කරගෙන යන්නේ මෙම දශකය අවසාන වන විට, නාවිකයන් නොමැතිව, ඉබේ සමුද්‍ර තරණය කළ හැකි නැව් තනා සාගර ගමනාගමනය ආරම්භ කිරීමටයි.

කොන්ස්බර්ග් ගෘෘප් යනු මුහුදු ගමන්වලට සම්බන්ධ සමාගම්වලට මිනුම් සහ ජලතරණය ඇතුළු නොයෙකුත් සේවා සපයන සමාගමක්. ඔවුන් පොහොර තැනීම අරමුණු කරගත් රසායනික ද්‍රව්‍ය සමාගමක් වන යාරා සමඟ එකතු වී යාරා බර්ක්ලෑන්ඩ් නමැති නැවක් තැනීම සිදුකරගෙන යනවා.

යාරාහි ප්‍රධානියා පවසන්නේ කිසිදු විමෝචනයකින් තොර මෙම පරිසර හිතකාමී යාත්‍රාව තැනීම, ඔවුන් විසින් භෝග වගාව සඳහා නිපදවන පොහොර ප්‍රවාහනයට මහත් පිටිවහලක් වන බැවින්, එය බුද්ධිමත් ආයෝජනයක් බවයි.

ඩොලර් මිලියන 25කට අලෙවි වන මෙම යාත්‍රාවට, එවැනි යාත්‍රාවක් මෙහෙයුම් නැතහොත් ක්‍රියාකාරී පිරිවැයෙන් 90% ඉතිරි කර දිය හැකියි. ජී.පී.එස්. රේඩාර්, කැමරා සහ සංවේධකවලින් සන්නද්ධ මෙම ඉලෙක්ටි්‍රක් යාත්‍රාවට, අනෙකුත් යාත්‍රා හරහා ජලතරණය කරමින්, ඉබේම නැව් තටාකවල ගාල් වීමේ හැකියාව තිබෙනවා.

මෙම යාත්‍රාවට ගොඩබිම භාණ්ඩ ප්‍රවාහනයටත් විකල්පයක් ලෙස ක්‍රියා කළ හැකි අතර, යාරා සමාගම පවසන පරිදි මෙම යාත්‍රාවට, නෝර්වේ රටේ දක්ෂිණ පළාත්වලට පොහොර බෙදාහරිමින් වසරකට ගමන් කරන ට්‍රක් රථ 40,000ක් ප්‍රතිස්ථාපනය කළ හැකි බවයි.

ලොව නාවුක කටයුතු සම්බන්ධ නියාමක ආයතනය වන ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඔර්ගනයිසේෂන්, 2020 වන විට මෙම ස්වයංපාලක නැව් ද ඇතුළත් වන පරිදි ඔවුන්ගේ නීති රීති වැඩිදියුණු කරනු ඇතැයි යාරා බලාපොරොත්තු වෙනවා. දැනටමත් ධීවර ප්‍රවාහන යාත්‍රා, සැපයුම් ප්‍රවාහන යාත්‍රා සහ තෙල් නැව් ක්‍රියාකාරී සමාගම් බොහෝමයක් තම යාත්‍රා මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් නව රෙගුලාසි ස්ථාපිත වූ වහාම මෙම ස්වයංපාලක යාත්‍රා ඉතා ශීඝ්‍රයෙන් නැව් ගමනාගමනය සඳහා එක්වේ යැයි ඔවුන් විශ්වාස කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්