ධර්මයුද්ධයේ අචිනියි ෂේනුයි මුහුණට මුහුණ

  👤  1282 readers have read this article !
Published by : MB WEB 2017-08-13 16:13:10

THISURI YUWANIKA

අචිනි අතින් ලොකු වැරැදීමක් සිද්ධ වෙනවා. ෂේන්ව මැරුවේ හිතාමතාද..? නැත්නම් ඒක අත්වැරැදීමක්ද..?

ඒක අත්වැරැදීමක්. මම ගැහුවේ ෂේන්ගේ අතේ තිබ්බ ෆෝන් එකට. ෆෝන් එකේ තිබ්බ වීඩියෝව පෙන්නනවා කියලා එයා මට තර්ජනය කළා. අයුතු යෝජනා කළා. මට ඕන වුණේ ෆෝන් එක අරගෙන ඒ වීඩියෝව නැති කරන්න. ෆෝන් එකට ගහපු පාර අත්වැරදීමකින් ෂේන්ට වදින්නේ.

ඔයා නාන කාමරේ ඉන්න දර්ශනයක් තමයි ෂේන් වීඩියෝ කරලා තිබ්බේ. එහෙම දෙයක් ෂේන් ළඟ තියෙනවා කියලා දැන ගත්තම මොකද හිතුණේ..?

ඇඳුම් මාරු කරන, නාන සිද්ධියක් පිට පිරිමි ළමයෙක් වීඩියෝ කරලා පෙන්නද්දි මුළු ජීවිතයම එතැනින් නතර වුණා කියන හැඟීම තමයි ඕන කෙනෙක්ට දැනෙන්නේ. මගේ ජීවිතේ විනාශයි. මගේ අම්මා, තාත්තා, නංගි පාරේ බැහැලා යන්නේ කොහොමද..? ඒක රටේ ලෝකේ මිනිස්සු දකියි කියලා ගොඩක් දේවල් ඔළුවට ආවා. මුළු ජීවිතේම ඉවරයි කියන හැඟීම තමයි දැනුණේ.

ෂේන්ගේ ළඟ ඔයා ඉන්න වීඩියෝවක් තිබ්බ නිසාද නැත්තම් ෂේන් ඔයාගේ අම්මට අයුතු යෝජනාවක් කළ නිසාද ආවේගයෙන් පහර දෙන්නේ..?

මම ඒ වෙලාවේ හිටියේ ඔළුව අවුල් වෙලා. එයා මටත් අයුතු යෝජනාවක් කළා. මගේ අම්මටත් කැත විදියට කතා කළා. වීඩියෝව එළියට දානවා කිව්වා. ඒ නිසා මම ෂේන් එක්ක කේන්තියෙන් හිටියේ. අම්මට අයුතු යෝජනාවක් කරද්දිත් මට බලාගෙන ඉන්න බෑ. ඕන කෙනෙක්ට ඒ වගේ දේකදි කේන්තියක් එනවනේ. උඹ දඟලන්නේ ෆෝන් එකේ තියෙන එක නිසානේ. දෙන්නම් උඹට කියලා තමයි ෆෝන් එකට ගහන්න පොල්ල ගන්නේ. ගැහුව පාර වදින්නේ ඔළුවට. මොකද ඊට කලින් එහෙම කාටවත් ගහලා නැති නිසා අත්දැකීමකුත් නෑනේ.

ඇත්තටම ෂේන් එක්ක ඔයාගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැද්ද..?

අපෝ නැහැ.

ෂේන් ඇති කරපු ප්‍රශ්නයෙදි අම්මාව සම්බන්ධ කර ගන්නේ නැතිව තව කතාබහ කරලා ඔය ප්‍රශ්නය විසදාගන්න පුළුවන් වුණා කියලා හිතෙන්නේ නැද්ද..?

ෂේන් අමුතු කෙනෙක්. එයා එයාගේ අම්මාගේ පවර්ස් අරගෙන ඉන්න ළමයෙක්. එයා එක්ක කිසිම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් පසුබිමක් තිබ්බේ නැහැ. මට කරන්න තිබ්බ හොඳම දේ තමයි ඒක අම්මට කියන එක. ඒ නිසා තමයි මම ෂේන්ගේ ප්‍රශ්නය අම්මට කිව්වේ.

ඔයාගේ අත්වැරැද්ද නිසා ඔයාගේ අම්මට, තාත්තට, නංගිට ගොඩාක් දුක් විඳින්න, වේදනා විඳින්න සිද්ධ වුණා. තමන්ගේ ජීවිතේට බද්ධ වෙලා හිටපු ඒ අයට ඔයාගේ ඇස් ඉස්සරහදීම වේදනා විඳින්න වෙද්දී කොහොමද ඒක දරා ගත්තේ..?

අම්මට, අප්පච්චිට ගහන වාරයක් පාසා නංගි අඬන හැම වාරයක් පාසා මම මැරි මැරී ඉපදුණා. මම ඒ ගමන නොගියා නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මම නිසානේ අම්මා, අප්පච්චි, නංගි එහෙම දුක් විඳින්නේ, අපහාස විඳින්නේ කියලා මට නොදැනුණා නෙමෙයි. මම එක අවස්ථාවක කිව්වා මම පොලිසියට භාරවෙන්නම් අප්පච්චිට එච්චර දුක් විඳින්න එපා කියලා. ඒ මට එයාලා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසා.

ඔයා හිරේ යනවා වළක්වන්න අප්පච්චි ලොකු සැලසුමක් හැදුවා. ඔයාට ඒ බොරුව වහන් කරගෙන ඉන්න පහසු වුණාද..?

මුලින් දෙගිඩියාවක් තිබුණා මාව අහුවෙයිද කියලා. කොච්චර වුණත් හිරේ යන්න බයයි. ෂේන් එච්චර ජරා වැඩක් කරලත් මට එයාව මරන්න ඕන වුණේ නැහැ. මට වුණේ අත්වැරැදීමක්. නමුත් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා අප්පච්චි කියන දේ කරන්න ගත්තා. අප්පච්චි කියන විදියට වැඩ කළොත් බේරෙන්න පුළුවන් කියලා මම හිතුවා. ඒ නිසා අප්පච්චි කියන්නේ මොකක්ද මමයි, අම්මයි, නංගියි, ඒ දේවල් කළා. දෙගිඩියාවක් ඇති නොවුණා නෙවෙයි.

සිදුවුණ වැරැද්දට ඔයාට දඬුවමක් ලැබෙයි කියලා සැකයක් තිබුණෙම නැද්ද..?

එක මොහොතකදි හිතුණා කොයිම මොහොතක හරි මාව අහුවෙයිද කියලා. වැරැද්දක් කළා නම් දඬුවම් විඳින්න වෙයි කියලා. අත්වැරැදීමකින් හරි මගේ අතින් කෙනෙක් මැරෙනවා. මට දඬුවම් විඳින්න වෙයි කියලා අනිවාර්යෙන්ම හිතුණා. ඒත් ආයේ හිතුණා බේරෙන්න පුළුවන් වෙයි කියලා. මොකක් වෙයිද දන්නේ නෑ කියලා දෙගිඩියාවෙන් හිටියේ. මට අසාධාරණයක් වෙලා තිබුණත් මගේ අම්මා, අප්පච්චි නීතියේ පිහිට පැතුවත් ෂේන්ගේ අම්මා බලපුළුවන්කාර කෙනෙක්. ඒ බලපුළුවන්කාරකම් අපිට පෙන්නනවා. ඒවත් එක්ක මගේ අප්පච්චි හිතන්නේ නැහැ අපිට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. සිද්ධිය යට ගහලා ෂේන්ව බේර ගනියි කියලා හිතුණ නිසා අප්පච්චි කියන විදියට වැඩ කරන්න හිතුවා.

කොහොමින් කොහොම හරි කරපු වැරැද්ද අහුවුණේ නම් නෑ. ඒ නිසා දඬුවම් විඳින්න සිද්ධ වුණෙත් නෑ. හැබැයි කරපු වැරැද්දෙන් හිත ගලවා ගන්න පුළුවන්ද..?

ඇත්තටම ගලවා ගන්න බෑ. ඒකට කොච්චර කාලයක් ගතවෙයිද කියලත් මම දන්නේ නෑ. මොනවා වුණත් මනුස්සයෙක් මගේ අතින් නැති වුණානේ කියන ඒ කම්පනය තියෙනවා. ඒ කරපු දේ මතක් වෙන වාරයක් පාසා ඒක මම හිතලා කළේ නෑ කියලා හිත හදාගනියි. මම අවංකවම ෆෝන් එකට ගැහුවේ. මමත් ඕනකමින් නෙවෙයි එයාව මැරුවේ. ෂේන් වුණත් වැරැද්දක්නේ කළේ. මගේ අම්මා එයාට වැඳලා කියනවා හානියක් කරන්න එපා කියලා. එයා මගේ අම්මටත් අයුතු යෝජනාවක් කරනවා. මම වැරැද්දක් කළේ නෑ කියලා හිත හදාගත්තත් ෂේන් මැරෙන්නේ නැතුව මේ ප්‍රශ්නය විසදා ගන්න තිබ්බා නම් කියලා හිතෙනවා.

අපි මෙච්චර වෙලා කතා කළේ ධර්ම යුද්ධයේ අචිනි ගැනනේ. දැන් සැබෑ ජීවිතයට ඇවිත් ධර්ම යුද්ධයේ අචිනි කියන චරිතය තිසුරිට ලැබුණේ කොහොමද කියලා කියමුකෝ..?

මහරාජා ආයතනයෙන් තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට කතා කළේ. මේ කතාවට මීට කලින් චිත්‍රපට පහක් විතර විවිධ භාෂාවලින් හැදිලා තියෙනවා. මේක ප්‍රති නිර්මාණයක් කියන එක මට කිව්වා. කතාව ඇහුවම මට ආස හිතුණා. මම ඒ වෙනකොට මුල් චිත්‍රපට බලලා තිබුණේ නැහැ. ලස්සන පවුලක් ගැනනේ කියන්නේ. මම ඇත්ත ජීවිතේ පවුලක් තුළ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මේ තේමාවට මට ආස හිතුණා. මට ඒ තුළ යමක් කරන්න තියෙන නිසා මම එය භාරගත්තා.

තිසුරි පුංචි තිරයේ වැඩිපුර දැක්කට සිනමාවෙන් දැකලා තියෙන්නේ හරි අඩුවෙන්. ධර්ම යුද්ධය ඔබ බලාපොරොත්තු වුණ තලයේ නිර්මාණයක් නිසාද භාරගත්තේ...?

මම සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. මට මුල්ම සම්මානය ලැබෙන්නෙත් සිනමාවෙන්. උඩුගම්යාමය කියන චිත්‍රපටයට තමයි ජනාධිපති කුසලතා සම්මානයක් ලැබෙන්නේ. මම පහ වසරේ ඉන්නකොට තමයි ඒ චිත්‍රපටය කළේ. පස්සේ පොඩි පොඩි චරිත කළා. තරුණ වියට පා තැබුවට පස්සේ "දරුවනේ" චිත්‍රපටයේ රඟපෑවා. ඒ රංගනය ගැනත් කට්ටිය කතා වුණා. හැබැයි මට ලොකු යමක් කරන්න තියෙන චරිතයක් මම සිනමාවේදී කරලා තිබ්බේ නැහැ. චිත්‍රපටයක් කරනවා නම් යමක් කරන්න පුළුවන් හොඳ චරිතයක් කරන්න ආසාවෙන් හිටියේ. ඉතිං මට මේ චිත්‍රපටයෙන් ඒ බලාපොරොත්තු වුණ විදියේ අවස්ථාවක් ලැබුණේ.

තිසුරි "ධර්ම යුද්ධය" චිත්‍රපටයේ අචිනි විදියට ඉදිරිපත් කරපු රංගනය ගැන අධ්‍යක්ෂවරයා තෘප්තිමත් වුණාද...?

ඔව්. අනිවාර්යයෙන්ම ඔහු තෘප්තිමත් වුණා. මොකද අධ්‍යක්ෂවරයා මිය යන්න කලින් මගේ උපන්දිනයට මට කතා කළා. මට කිව්වා තිසූ ඔයා ට්‍රේලර් එක බැලුවද..? ඒක හරිම ලස්සනයි. මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම හිට් එකක් වෙනවා. ඔයාලා හැමෝම හරිම දක්ෂයි කියලා හරිම සතුටෙන් කතා කළේ. හැබැයි හරිම කනගාටුයි. ෆිල්ම් එක රිලීස් වෙද්දී ඔහු හිටියේ නැහැ. අධ්‍යක්ෂවරයාට ඕන වුණා මුල් නිර්මාණ වගේම මේ චිත්‍රපටය කරන්න. නමුත් අපි හතර දෙනාට මුළු චිත්‍රපටයම කොපි කරන්න ඕන වුණේ නැහැ.

අපි අපේ විදියට යමක් කරන්නයි උත්සාහ කළේ. හැබැයි අධ්‍යක්ෂවරයාට ඇහුම්කන් දෙමින් ඔහු කියන දේ කරමින් වැඩ කළා. ඒ ගැන අධ්‍යක්ෂවරයාත් තෘප්තිමත් වුණා.

ඉදිරියේදී සිනමාවේ වෙනස් වෙනස් නිර්මාණවලින් තිසුරිව දකින්න ලැබෙයිද..?

හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම කරනවා.

මේ දවස්වල පුංචි තිරයේ අලුත් වැඩ කටයුතු කෙරෙනවාද..?

පසුගිය කාලේ මම එක දිගට වැඩ කළ නිසා මාස තුනක් විතර මුකුත් වැඩක් කළේ නැහැ. ඒ අතරේ මට නිර්මාණ ලැබුණා. හැබැයි මම ආස හිතෙන විදියේ පිටපතක් ලැබුණේ නැහැ. සමන් කුමාර ලියනගේ අයියා සහ චරිත් අබේසිංහ අයියගෙත් සුනේත්‍රා සහ මිනි ගංදෑල කියන ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ පිටපත් දෙකට මට ආස හිතුණා. මම ඒ ටෙලි නාට්‍ය දෙකේ ෂූටින්වලට මේ දවස්වල සම්බන්ධ වෙනවා.

........................................................................................................................................................................................

DANUKA DILSHAN

ඔය තරම් සෙල්ලක්කාරයෙක් වුණේ කොහොමද?

මම පුංචි කාලේ ඉඳන් එහෙම තමයි. ඒ මගේ හැටි.

ගැහැනු ළමයෙක් බාත්රූම් එකේ ඉද්දි ඒක වීඩියෝ කරන එක පහත් මානසික මට්ටමක් නේද?

දැන් කාලේ එහෙම දේවල් සිද්ධ වෙනවා. මම හිටිය සමාජයේ මම දැක්කේ, මම ඇහුවේ ඔය වගේ දේවල්. ඉතිං මම දන්නේ නැහැ. ඒක පහත් මානසික මට්ටමක්ද කියලා.

අන්තිමේදී අචිනිගේ අම්මටත් ඔයා අයුතු යෝජනාවක් කරනවා. ඒත් සහෝදරියක්, අම්මා කෙනෙක් කියන හැඟීම ඇති වුණේම නැද්ද?

මම බලපු ෆිල්ම්වල තිබ්බේ ඔය වගේ දේවල්. මම මාව තෘප්තිමත් කිරීම විතරයි හිතුවේ. අනෙක් අය ගැන හැඟීමක් මට තිබ්බේ නැහැ.

වැරැද්ද පෙන්නලා දෙන්න කෙනෙක් හිටියෙත් නැද්ද?

නැහැ. මට කවුරුත් ඒ දේවල් වැරැදියි කියලා කියා දුන්නේ නැහැ.

අචිනිව දැලේ දාගන්න ගිහින් අන්තිමේදි මැරුම් කන්න වෙයි කියලා හිතුවද?

කොහෙත්ම නැහැ. මම හිතුවේ මගේ අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා විතරයි.

අන්තිමේදී ඔයා කරපු වැඩ නිසා ඔයාට ගොඩක් ආදරය කරපු අම්මයි, තාත්තයි අනේක වාරයක් දුක් වින්දා?

ඔව්. මට ඒ ගැන දුකයි.

ඔයා ඔහොම නරුම වැඩ කළේ අම්මා තාත්තා හරි දේවල් කියලා නොදුන්න නිසාද? නැත්නම් අම්මගේ බලය ඔළුවට අරන් වැඩ කරන්න ගත්ත නිසාද?

මම කාටවත් ‍දොස් පවරන්නේ නැහැ. හැමදෙයක්ම සිද්ධ වෙන්න ඇත්තේ මගේ වෙලාව නිසා. දැන් හැමදේම සිද්ධ වෙලා ඉවරයි.

ඔය විදියට සෙල්ලක්කාර වැඩ කරලා ජීවිතයෙන් වන්දි ගෙව්වේ ධර්මයුද්ධයේ 'ෂේන්නේ'. ධනුකට ඒ විදියට සිනමාවේ පළමු අඩිය තියන්න ලැබුණ අවස්ථාව ගැන දැන් කතා කරමු?

ඇත්තටම 'ධර්මයුද්ධය' කියන්නේ මම සම්බන්ධ වුණ පළමුවැනි චිත්‍රපටය. චිත්‍රපට නළුවෙක් වෙන්න මට පුදුම විදියේ ආසාවක් තිබුණේ. සිනමා නළුවෙක් වෙන්න තමයි මේ විදියට පාර කපාගෙන යන්නේ. ඇත්තටම ටෙලි නාට්‍යවල ගොඩක් ඉන්න නිසා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ලැබෙන චාන්ස් අඩුයි. එහෙම අවස්ථාවක මාව මේ චිත්‍රපටයට තෝර ගත්ත එක වෙනුවෙන් මහාරාජා ආයතනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට ලැබුණු පළමුවැනි අවස්ථාවම සෑහෙන ලොකු අවස්ථාවක් වුණා.

පළමුවැනි චිත්‍රපටයෙම විලන් රෝල් එකක් කරන එක අවාසියක් වෙයි කියලා හිතුණේ නැද්ද?

මම නළුවෙක්. මට ඕන රඟපාන්න. ඒ විලන් වුණත් හීරෝ වුණත් ඒ චරිතයට යමක් කරන්නයි මට ඕන වුණේ. ජැක්සන් ඇන්තනි හීරෝ වෙද්දි මම දුෂ්ටයා වුණේ. ඒක ලේසි නැහැ. මම කළදේ ගැන මට සතුටුයි.

ෂේන්ගේ චරිතය චිත්‍රපටය පුරාම ඉන්න චරිතයක් නෙමෙයි. හැබැයි ෂේන් ප්‍රේක්ෂකයෝ තුළ ලොකු කාලයක් ජීවත් කරන්න, එය කතා බහට ලක් කරන්න ධනුක මහන්සි වෙන්න ඇති?

මට ලැබුණු පුංචි චරිතය වුණත් හොඳට කරන්නයි මට ඕන වුණේ. මම සීන් තුනකයි ඉන්නේ. මම පළමුවනි වතාවට ටපචථඥ එකට ගියාම අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා මට කිව්වා ධනු ඔයා සුපිරි නළුවෙක් කියලා. එයාලා මම හිටපු සීන් හරිම ආසාවෙන් ෂූට් කළේ. පොඩි කාලේ ඉඳන් සැපට හැදුණු කොල්ලෙක් ඵඥය ඉල්ලන්නෙ සල්ලාලකමට නෙමෙයි සෙල්ලක්කාරකමට. මම හිතනවා විලන් වුණ පොඩි කොල්ලගේ චරිතය මම හොඳට කළා කියලා. ගොඩක් අය ඒ චරිතය ගැනත් කතා කරනවා. මට ඒ ගැන සතුටුයි.

ඔය සෙල්ලක්කාරකම් ධනුකගේ ජීවිතෙත් තියෙනවද?

මමත් සෙල්ලක්කාරයි. මම කොළඹ කොල්ලෙක්. අපි පාරේ තමයි වැඩිපුර ජීවත් වුණේ. හැබැයි චිත්‍රපටයේ චරිතය මගේ ජීවිතයට ගැළපෙන්නෙම නෑ. මම ඇත්ත ජීවිතේ කාටවත් වැරැද්දක් වෙනවට කැමැති කෙනෙක් නෙමෙයි.

සිනමාවට එන්න හීන දැක්ක ධනුකට රොෂාන්, හේමාල් වගේ නළුවන් එක්ක හොඳ තරගයක් දෙන්න පුළුවන්ද?

මේක මගේ ජෙනරේෂන් එක. මට කාගෙවත් තැනක් ගන්නවත්, කාගෙවත් තැනකට යන්නවත් ඕනේ නෑ. මම කොතැන නතර වෙයිද දන්නේ නෑ. කොහෙම වුණත් හැමෝම එක්ක හොඳ ගමනක් යන්න තමයි මට ඕන.

හොඳ ගමනක් යන්න සිනමාවෙ තවත් හොඳ අවස්ථා ලැබිලද තියෙන්නේ?

තව චිත්‍රපට දෙකකට ඉදිරියෙදි සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණ විදේශ නිෂ්පාදනයන්. මට හොඳට වැඩ හම්බවෙනවා. මට මගේ දක්ෂතාව ගැනත් ෂුවර්. ඒකට මම මදිපුංචිකමක් කරන්නෙත් නෑ. ධර්මයුද්ධයටත් ගොඩක් අය හොඳ කිව්වා. මම කැමැතියි නරක, වැරැදි කියනවා නම්. ඒ හැම දෙයක් එක්කම මේ ගමන හිමින් යනවා.

චිත්‍රපටයට හොඳ කිව්වත්, ධනුකගේ පෞද්ගලික ජීවිතයට නම් වැරැදි කියන්න ගොඩක් අය ඉන්නවා නේද?

මඩ ගහන්නේ මඩේ ඉන්න අයනේ. මඩ ගහන අය මඩේ හිටියට මම ඉන්නේ මඩේ නෙමෙයි. මම මඩ නාගන්න කැමැතිත් නැහැ.
දැන් ධනුකගේ ජීවිතේ ඉන්න විශේෂ කෙනා කවුද?

මගේ ජීවිතේ කිසිම විශේෂ කෙනෙක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්