'ආවා' කල්ලිය මොරාල් ගත්ත හැටි

  👤  1702 readers have read this article !
Published by : MB WEB 2017-08-12 14:47:41

චාමර අමරසූරිය

වර්ෂ 2009 මැයි 18 වැනි දින එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී ආරක්ෂක අංශ විසින් මරා දැමීමත් සමඟ එල්.ටී.ටී.ඊ.යේ ඊළාම් සිහිනය බොඳවී ගියේය.

සිය සංවිධානයේ දරුණු පරාජය හමුවේ එල්.ටී.ටී.ඊ. නායකයෝ රැසක් මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටවලට පලා ගියෝය.

'වින්‍යාගම්' නමැති එල්.ටී.ටී.ඊ. නායකයා ප්‍රංශයටත්. නිදියවන් නමැති එල්.ටී.ටී.ඊ. නායකයා ස්විස්ටර්ලන්තය බලා ගිය බවට ආරක්ෂක අංශයන් වෙත තොරතුරු ලැබිණි.

සිය නායකයා වූ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය යළි දිනා ගැනීම සඳහා විදේශීය රටවල සිටින කොටි හිතවාදීන් ඒකරාශී කරගනිමින් උතුරේ යළි භීෂණයක් ඇති කිරීමට එම ත්‍රස්තවාදීහු දිගින් දිගටම උත්සාහ කරමින් සිටිති.

එපමණක් නොව උතුරේ ඇති සාමකාමී තත්ත්වය නිසා දෙමළ ඩයස්පෝරාවේ භාණ්ඩාගාරද හිස් වෙමින් පවතින බවට තොරතුරු ලැබේ.

දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය අංශය ශක්තිමත් කර ගැනීම සඳහා කොටි හිතවාදීන්ගේ සහාය ලබා ගැනීමට ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වන්නේ උතුරේ යළි භීෂණයක් ඇති කිරීමය.
ඒ සඳහා ත්‍රස්තවාදීන්ගේ පූර්ණ ආශීර්වාදය යටතේ ආවා ගෘෘප් නමැති සංවිධානය මීට වසර කිහිපයකට පෙර උතුරු අර්ධද්වීපයෙන් බිහි විය.

ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධානීන් එකල ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගනු ලැබීය.

සන්නා

එහෙත් ආවා කල්ලියේ නායකයකු වූ සන්නා ශම්සන් මුහුදු මාර්ගයෙන් ස්විට්සර්ලන්තයට පලා ගියේය.

25 හැවිරිදි වියෙහි පසුවන 'සන්නා' යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යුද්ධය පැවැති සමයේ ඔහු එල්.ටී.ටී.ඊ.යේ ළමා සොල්දාදුවෙක් ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ මාමාද කොටි බුද්ධි අංශයේ සාමාජිකයෙකි.

සිවු වසරක කාලයක් කොටි සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටි ඔහු මේ වන විට ප්‍රංශයේ සිටින කොටි නායකයකු වන විනයාගම්ගේ සමීපතමයකු බවටද මෙරට බුද්ධි අංශ හෙළි කරගෙන තිබේ.

මේ වනවිට ආවා කල්ලිය ප්‍රතිසංවිධාන කිරීමේ කටයුත්ත පැවරී ඇත්තේ සන්නාටය.

ආවා කල්ලිය නැවතත් කරළියට

ඉකුත් ජනවාරි 30 වැනි දින නල්ලුර්, අර්ෂඩි පාරේ පිහිටි වෙළෙඳ සලකට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් එහි සිටි පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියට උපදෙස් ලබාදී ඇත්තේද ස්විස්ටර්ලන්තයේ සිටින සන්නාය.

එම ප්‍රහාරයට ධනංජත්, විජිතබාරන්, නිශා වික්ටර් ඇතුළු පිරිසක් පැමිණ තිබිණි.

එවක ආවා කල්ලියේ නායකත්වය උසුලා ඇත්තේ ධනංජන් විසිනි. එම ප්‍රහාරයෙන් පසු ධනංජන් කොළඹ, ආමර්වීදියේ කාමරයක් කුලියට ගෙන සැඟවී සිටියේය.

ධනංජන් අත්අඩංගුවට ගැනීම

ධනංජන්ගේ නවාතැන්පොළ ගැන තොරතුරු ලැබුණු යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන ඇතුළු නිලධාරීන් පිරිසක් මීට මාස තුනකට පමණ ඉහතදී කොළඹට පැමිණියේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහාය.

ධනංජන් නොමැති අවස්ථාවක පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහු සිටි කාමරයට ගොස් ඔහු නිදාගන්නා ඇඳ යට සැඟවී සිටියහ.

ඉතිරි පොලිස් කණ්ඩායම නවාතැන් පොළෙහි අවට ආරක්ෂාව තර කර ගෙන සිටියහ.

ධනංජන් කාමරයට පැමිණි වහාම ඔහුගේ ඇඳ යට සැඟවී සිටි පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ ප්‍රශ්න කිරීම මත දෙහිවල ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටි විජිතභාරත්ද පොලිස් අත්අඩංගුවට පත් විය.

එහෙත් විජිතභාරත් සමඟ දෙහිවල ප්‍රදේශයේ සිටි නිශා වික්ටර් නමැත්තා එම කාලසීමාවේ පොලිස් නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට නොහැකි විණි.

ටික කාලයක් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි නිශා වික්ටර් නැවත කරළියට පැමිණෙන්නේ ආවා කල්ලියේ වර්තමාන නායකයා බවට පත් වෙමිනි.

රට කැලඹූ කෝපායි ප්‍රහාරය

පසුගිය ජූලි 30 වැනි දින කෝපායි ප්‍රදේශයේදී රාජකාරියේ යෙදමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා පලා යන්නේද නිශා වික්ටර් ඇතුළු ඔහුගේ කඩු කිණිසි කල්ලියයි.

නිශාගේ නායකත්වයෙන් යුත් 14 දෙනකුගේ කල්ලියක් යතුරුපැදිවල නැඟී ගමන් කොට ඇත්තේ 'ධනු' නමැති ඔවුන්ගේ ප්‍රතිවාදියකුට පහරදීම සඳහාය.

හිස්වැසුම් නොමැතිව, කඩු, කිණිසි, මන්න, කැති අවි අත දරා ඉදිරියට ඇදෙන මෙම යතුරුපැදි කල්ලියට මුහුණට මුහුණලා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ යතුරුපැදිය හමුවී තිබේ.

ඒත් සමඟම 'ධනු' ගේ ප්‍රහාරය පසෙකලා මොවුන් විසින් තියුණු ආයුධවලින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට පහර පිට පහර දෙන්නට වූහ.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ලේ විලක් මැද ඇද වැටීමත් සමඟ නිශා වික්ටර් සිය ගෝලබාලයන් සමඟ කෝපායි ප්‍රදේශයට පලා ගියේය.

ප්‍රතිවාදී 'ධනු' නමැත්තාව ඝාතනය කරන ලෙසට දන්වා ඇත්තේද ස්විස්ටර්ලන්තයේ සිටින සන්නා විසිනි.

අනතුරුව සිදු වූ දෙය නිශා වික්ටර් විසින් සන්නාට පවසා ඇත. "පෙරළුණු පිට හොඳයි" යැයි සිතූ සන්නා පසුව නිශා වික්ටර්ට පවසා ඇත්තේ කොළඹට පලා යන ලෙසය.
ඒ අනුව නිශා වික්ටර් ඇතුළු සිවුදෙනකු අගෝස්තු මස 01 වැනි දින කොළඹට පැමිණියහ.

නිශා වික්ටර් ඇතුළු තිදෙනකු පිටකොටුවේ කාමරයක් ගෙන සැඟවී සිටි අතර තවත් අයකු මට්ටක්කුලිය ප්‍රදේශයේ සැඟවී සිටියේය.

කෝපායි ප්‍රහාරයත් සමඟ උතුර යළි කැලඹුණු අතර පොලිස්පති පූජිත් ජයසුන්දරද එම පළාතට ගොස් විමර්ශනයන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ ඍජු අධීක්ෂණය යටතේ යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දුගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ මෙහෙයවීම යටතේ එම කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් උතුරු අර්ධද්වීපයට ගොස් විමර්ශන ආරම්භ කළහ.

විශේෂ කාර්ය බළකා මෙහෙයුම

ආවා කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා උතුරේ පැය 72ක විශේෂ මෙහෙයුම් සිදු කරනු ලැබීය.

ඒ ඉකුත් අගෝස්තු 05 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා වූ තෙදින තුළය.

විශේෂයෙන් වැලි ජාවාරම්කරුවන් ගැවසෙන වඩමාරච්චි ප්‍රදේශයේ මෙම මෙහෙයුම් සිදු කළ අතර එහිදී ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවෝ 13 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

එපමණක් නොව බලපත්‍ර නොමැති ලොරි රථ හයක් සහ බලපත්‍ර නොමැති යතුරුපැදි 11ක් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් ත්‍රස්ත විමර්ශකයන්ගේ මෙහෙයුම

ත්‍රස්තවාදීන් සේම, ආවා කල්ලි සාමාජිකයන් ගැන වැඩි සෝදිසියෙන් සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වැදගත් තොරතුරක් ලැබිණි.

ඒ යාපනයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ආවා කල්ලි සාමාජිකයන්ගෙන් හෙළි වූ කරුණු මතය.

ලද තොරතුරු මත පිටකොටුව ප්‍රදේශයේ ආහාර පාන අලෙවිසල් අසල වෙස් වළා ගෙන සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් නිශා වික්ටර් සිටින තැන හඳුනා ගත්තේය.

නිශා වික්ටර් සමඟ සිටින ආවා කල්ලි සාමාජිකයන් තිදෙනා සැඟවී සිටින පිටකොටුවේ කුලී කාමරය ඉකුත් 7 වැනි දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලනු ලැබීය.

විදෙස් රටකට පලා යෑම සඳහා කොළඹට පැමිණි නිශා වික්ටර් සන්තකයේ තිබී තියුණු ආයුධ දෙකක්ද පොලිස් භාරයට ගැනිණි.

නිශා වික්ටර්

සත්‍යවේල් නාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යාපනය තිරුණල්චෙල්හි පදිංචිකරුවෙකි. ඔහුගේ වයස අවුරුදු 19කි. නිශා වික්ටර් පාසල් ගොස් ඇත්තේද 9 වසරට පමණි. ඔහුගේ තාත්තා වෙළෙඳසලක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහුට සහෝදරයන් දෙදෙනකු සිටින අතර වැඩිමහල් සහෝදරිය උතුරේ පුවත්පතක සේවය කරන්නීය. නිශාගේ මව ගෘහණියකි.

මීට වසර කිහිපයකට පෙර නිශා වික්ටර්ට ෆේස් බුක් හරහා සන්නාව මුණගැසී තිබිණි. දකුණු ඉන්දියානු චිත්‍රපට නරඹා ඒවාහි ඇති සටන් ක්‍රම අධ්‍යයනය කරමින් සිටින ආවා කල්ලි සාමාජිකයන් ඊට අවශ්‍ය කඩු, කිණිසි, පිහි විදෙස් රටවලින් ආනයනය කරන බවටද බුද්ධි අංශ වෙත තොරතුරුද ලැබී තිබේ.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ එම අවි ආවා කල්ලියට ලැබෙන බවටද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

ආවා මෙහෙය වන ෆේස්බුක් කල්ලිය

කඩු, කිණිසි, කැති, පොරෝවලට ආශාවක් ඇති කරවන ආකාරයේ ඡායාරූපද ආවා කල්ලිය සිය ෆේස් බුක් ගිණුම් හරහා ප්‍රසිද්ධ කරනු ලබති.
මේ වන විට ආවා කල්ලිය ප්‍රති සංවිධාන වන්නේද ෆේස්බුක් හරහාය.

එම ෆේස්බුක් ගිණුම්වල එල්ටීටීඊ නායකයන්ගේ ප්‍රකාශද ආවා කල්ලි සාමාජිකයන් විසින් බෙදා හරිනු ලබයි.

ඒ හරහා තරුණ ප්‍රජාවට රැඩිකල් සහ යුද මානසිකත්වය ඇති කිරීමට ආවා කල්ලි ප්‍රධානීන් උත්සාහ දරමින් සිටී.

මෙම ෆේස්බුක් ජාලය හරහා මේ වන විට ආවා කල්ලි 500ක් පමණ සංවිධානය වී ඇති බවද හෙළි වී ඇත.

උතුරේ තරුණ ප්‍රජාව යතුරුපැදි කල්ලි වශයෙන් එක් වී මෙම පහරදීම් රැල්ල සිදු කරන අතර දෙමළ ඩයස්පෝරාව විසින් ඔවුන්ට අවශ්‍ය මුදල්ද සපයන බවට බුද්ධි අංශ තහවුරු කර ගෙන ඇත.

කෝපායි ප්‍රහාරයෙන් පසු කොළඹට පැමිණි නිශා වික්ටර්ට ස්විස්ටර්ලන්තයේ සිටින සන්නා විසින් රුපියල් 10,000ක මුදලක් එවා ඇති බවටද බුද්ධි අංශ හෙළි කර ගෙන තිබේ.

ආවා කළ වැඩ වලින් බිඳක්

2017 ජනවාරි 25 වැනි දින යාපනය හින්දු විද්‍යාලය අසල පුද්ගලයකු කපා කොටා තුවාල කෙරුවේය. එම මාසයේම නල්ලූර්, අර්ෂමි පාරේ වෙළෙඳසලකට පහරදී පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලැබීය.

2017 ජුනි මස 8 වැනි දින කොකුවිල් ප්‍රදේශයේදී නිවෙසකට පහරදීමක් සිදු විය. එම මාසයේම 14 වැනි දින කොකුවිල් ප්‍රදේශයේම තවත් නිවෙසකට ප්‍රහාරයක් එල්ල විණි.

ඉකුත් ජූලි මාසයේ 27 වැනි දින යාපනය, කලවි හන්දියේ පුද්ගලයකු කපා දමන ලදී. ඒ සියලු ප්‍රහාරයන් දියත් කරනු ලැබුවේ නිශා වික්ටර්ගේ මෙහෙයවීමෙනි.
මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ බොහෝ දෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.

නමුත් දැන් ආවා ෆේස්බුක් කල්ලිය සංවිධානය වන්නේ ආවාහි තෙවැනි නායකයා බිහි කිරීමටය.

ආරක්ෂක අංශ වෙත දැඩි අභියෝගයක් එල්ල වී ඇත්තේ නව තාක්ෂණයත් සමඟ ප්‍රතිසංවිධාන වන මෙම ආවා කල්ලිය මැඬලීමටය. දිය යට ගිල්ලූ රබර් බෝලයක් මෙන් මෙය නැවත උඩ මතුවේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ්

සේනානායක ඉකුත් දිනයක පැවැසුවේ රැඩිකල් මානසිකත්වයේ සිටින මෙම තරුණ කණ්ඩායම ගැන අවධානය යොමු විය යුතු බවය.

නිය පොත්තෙන් කැඩීමට තියෙන දේ පොරොවෙන් කඩා ඉවත් කිරීමට පෙර මීට නිසි ප්‍රායෝගික විසඳුමක් ලබා දිය යුතුය.

මන්ද කුඩා සංවිධානයක් වූ එල්ටීටීඊයද හිස ඔසවනු ලැබුවේ මේ ආකාරයටමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්