දියබත් වූ ටයිටැනික් නැවේ සැබෑ දර්ශන සියැසින්

  👤  2573 readers have read this article !
Published by : MB WEB 2017-08-08 15:31:02

මීට හරියටම වසර 20කට පෙර එනම් 1997දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ටයිටැනික් චිත්‍රපටය තිරගත වුණා. ටයිටැනික් නැවේ ව්‍යසනය පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ කතාව ජැක් සහ රෝස් නම් පරස්පර සමාජ මට්ටම් දෙකක ආදරවන්තයන් යුවළකගේ ඛේදාන්තය හරහා ගොඩනැඟුණා.

ලොව පුරා ඩොලර් බිලියනයක් ඉක්මවමින් බොක්ස් ඔෆීස් ආදායමක් ලබන්නට සමත් වූ ලොව ප්‍රථම චිත්‍රපටය වූ ටයිටැනික් ජනප්‍රිය වීමට එම අනුවේදනීය කල්පිත ආදර කතාව මෙන්ම වසර 1912දී තම මංගල ගමනේදී සැබැවින්ම දියබත් වූ ටයිටැනික් පිළිබඳ පුරාවෘත්තයද එක සමානව දායක වුණා.

ටයිටැනික් නොබලපු කෙනකු මෙම මිහිමත සොයා ගැනීම අපහසු බැවින් පාඨක ඔබට වුවද මතක ඇති. එම චිත්‍රපටයේ යම් ජවනිකා කිහිපයකට, දියබත් වී තිබෙන ටයිටැනික් නැවේ සැබෑ දර්ශන කැමරාවට හසු කරගෙන තිබුණා.

අත්ලාන්තික් සාගරයේ සැතපුම් 2ක් ගැඹුරු පත්ලේ රැඳුණු මෙම දියබත් නැව මුල් වරට සොයා ගැනුණේ 1985දී රොබට් බැලාඩ් සහ කණ්ඩායම විසින්. 1912 සිටත්, ඉන්පසු 1985දී නටබුන් සොයා ගැනීමෙන් පසු 1997දී චිත්‍රපටයටත් පසුව අදටත් ලොව පුරා ජනතාව වශී කරගැනීමට ටයිටැනික් නෞකාවේ ඉරණම සමත් වී තිබෙනවා.


එය සියැසින් දැක ගැනීමට තරම් උනන්දුවක් ඇති (මුදල් හදල් යහමින් ඇති) පිරිසට ලන්ඩනයේ ස්ථාපිත සංචාරක සමාගමක් වන බ්ලූ බාර්බල් ප්‍රයිවට් සමාගම වසර 2018 මැයි මාසයේ සිට දියබත් ටයිටැනික් නැවට සංචාරක චාරිකා ආරම්භ කිරීම සතුටට හේතුවක් විය හැකියි.

2012දී විවෘත කළ උතුරු අයර්ලන්තයේ පිහිටි ටයිටැනික් කෞතුකාගාරය නැරැඹීමට මේ වන විට ප්‍රේක්ෂකයන් මිලියන 3.5ක් පැමිණ තිබෙන අතර වසර 2016දී එය ලොව වැඩිම ජනගහනයක් සංචාරය කළ ස්ථානය ලෙස සම්මානයටද පාත්‍ර වූවා.

වසර 2016දී කළ අධ්‍යයනයකින් සොයා ගත් පරිදි එක්ටී්‍රමෝෆයිල් බැක්ටීරියාව විසින් දියබත් ටයිටැනික් නැව ඉදිරි වසර 15ත් 20ත් අතර කාලය තුළ මුළුමනින්ම කා දැමිය හැකි බැවින්ද මෙම අවස්ථාවට තවත් වැදගත් වටිනාකමක් එකතු වෙයි.

බ්ලූ මාර්බල් ප්‍රයිවට් සමාගමේ දින 8ක මෙම සංචාරය කැනඩාවේ නිව්ෆවුන්ලන්තයේ සිට ආරම්භ කර සංචාරකයන් ටයිටේනියම් සහ කාබන් ෆයිබර් මිශ්‍ර සංයුතියකින් සෑදුණු දිය යටට කිමිදිය හැකි යන්ත්‍රයකින් මුහුදුබත් ටයිටැනික් නැව වෙත ගෙන යෑමට නියමිතයි.

මෙම සංචාරයේදී දින තුනක් දිය යටට කිමිදී ටයිටැනික් නැව වෙත යෑමට ඉඩ සැලසෙන අතර එක් කිමිදීමක් පැය 6ක කාලයක් පුරා පැවැත්වෙයි. අත්ලාන්තික් සාගර පත්ලට කිමිදීමට යන්ත්‍රයට විනාඩි 90ක් ගත වෙන අතර ඉන්පසු තවත් පැය 3ක් මීටර් 269ක් දිග නැවේ තට්ටුව, ඉදිරි භාගය, පාලම සහ ඔබ චිත්‍රපටයේ දුටු මනරම් තරප්පු පෙළ පෙර කලෙක තිබුණු බිංගෙයද දැක ගැනීමට සාංචාරකයන්ට අවස්ථාවක් සැලසෙයි.

අවසානයට ඔබගේ දැනගැනීම පිණිස මෙම සංචාරයට වැයවෙන මුදල සඳහන් කළොත් එය එක් පුද්ගලයකුට ඩොලර් 105,129ක් වෙනවා. එම සංචාර මාලාවේ ප්‍රථම යාත්‍රාව (සංචාරය) දැනටමත් විකිණී හමාර බව මෙම ලිපිය මුල සිට කියවූ පාඨක ඔබට නම් අරුමයක් නොවන බව අපගේ විශ්වාසයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්