චැනලින් අත්හැර බයිසිකල් රේස් පදින මීගමුවේ ‍ෙදාස්තර මහතා

  👤  815 readers have read this article !
Published by : MB WEB 2017-08-05 10:24:12

මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇති නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලොල් බවක් දක්වන රසිකයන්ව අප හඳුන්වන්නේ ක්‍රිකට් උණක් ඇති පුද්ගලයන් ලෙසයි. ඒ උණ නිසාම ක්‍රීඩාවෙන් ඉහළට ගිය අය ගැනත් ඕනෑ තරම් අසා දැක තිබෙනවා. එහෙත් මේ කියන්නට යන කතාවේ සඳහන් වෙන්නේ ක්‍රිකට් උණක් ගැන නෙවෙයි. පාපැදි උණක් ගැනයි. අනෙක මේ උණ වැලඳිලා තියෙන්නේ සාමාන්‍ය මිනිසකුට නොව ලොව ඉහළම ගණයේ වෘත්තියක යෙදෙන මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයකුට (ර්ණීපචත } ර්චයඪතතධ ජ්චජඪචත ඉභපඨඥධද) වීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ පාපැදි ක්‍රීඩකයන් 150කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පසුගිය දින 5ක් පුරා පැවැති එස්.එල්.ටී. පාපැදි සවාරිය නිම වෙද්දී 57 වැනියා ලෙස තරගය නිමා කළේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු යැයි කිවහොත් එය අමුතු විදියේ ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්.

එම ප්‍රවෘත්තියේ නිරවද්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති වුණත් අද කාලේ ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයකුට මෙවැනි දස්කමක් පෙන්වන්න පාපැදි ක්‍රීඩාවේ පුහුණුවක් ලබන්න වෙලාවක් තිබේද? යන ප්‍රශ්නය මුලින්ම මතු වෙනවා. දක්ෂතාව මුසුවූ හැකියාවක් ඇතත් උදේවරුවේ රෝහලේ සේවය කරල සවස් වරුවේ චැනලින් සේවයේ යෙදුණාම කොහොමද පුහුණුවක් ලබන්න වෙලාවක් හොයා ගන්නෙ.

පසුගිය එස්.එල්.ටී. පාපැදි සවාරි තුනටම සහභාගි වූ මෙම විශේෂඥ වෛද්‍යවරයා කවුද කියල හඳුන්වා දුන්නොත් නමින් ඔහු හර්ෂ ජයසුන්දර. සේවය කරන්නේ මීගමුව රජයේ රෝහලේ.

දවස් 5ක රේස් එකක් පැදල යහපත් විදියට තරගය නිමකරපු මේ රටේ පාපැදි ධාවකයන් ගැන ඕනෑ තරම් අහල තියෙනවා. ඒත් රේස් එක අවසන් කරපු වැඩිමහල්ම ක්‍රීඩකයා වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ගැන නම් අහල නැහැ. මේ ‍ෙදාස්තරට නම් වැලඳිලා තියෙන්නෙ හොඳ කරන්න බැරි පාපැදි උණකි. අපි එහෙම හිතුවාට ඔහුගේ උණ දැන් හොඳටම සුවවෙලයි තියෙන්නේ. ඒ බව ඔහුගේ කතාවෙන් තේරුම් ගත්තා. අද කාලෙ වෛද්‍යවරුන්ට චැනලින්වලටත් ඉඩ මදිව ඉන්න වෙලාවෙ කොහොමද පුහුණුවීම්වලට කාලය සොයාගන්නෙ.

මගේ ඒ පළමු ප්‍රශ්නයට දුන්නෙ මේ වගේ පිළිතුරක්.

"මම දිනපතාම ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නෙ නැහැ. මේ ක්‍රීඩාව නිසා ඒවා ඕන නැහැ කියලා හිතුණා. මම හැමදාම වගේ උදේ 6.00 සිට 7.30 තෙක් පුහුණුවීම් කරලා ගෙදර ඇවිල්ල තමයි මීගමුව මහ ඉස්පිරිතාලෙ වැඩට එන්නෙ. මම මේ ක්‍රීඩාව නැවැත්තුවත් ප්‍රයිවට් චැනලින් කරයි කියල මම හිතන්නෙ නැහැ. සතියකට දවසක් වගේ පෞද්ගලික රෝහලකට ගිහින් සේවය කරනවා. එහෙම කරන්නෙත් මගේ වෛද්‍ය මිතුරන් මට අදාළ ලෙඩුන්ගේ ප්‍රශ්න කිහිපයක් එකතු කරලා මට කතා කරපු දවසට විතරයි. ඒ හැර වෙන විශේෂඥ වෛද්‍යවරුන් කරන චැනලින් මම කරන්නෙ නැහැ. මට නිදහස ඊට වඩා වටිනවා. ඒක මගේ පාපැදි පුහුණුවට බාධාවක් වගේම ලෙඩ්ඩු එනතෙක් බලා ඉන්න බැරි පොඩි කම්මැළිකමකුත් මට තියෙනවා."

ඔය වගේ ‍ෙදාස්තර මහත්වරු මේ රටේ තවත් ඉන්නවාද?

"ටිකක් අඩුයි' යනුවෙන් සිනහ මුසුව පිළිතුරු දුන් වෛද්‍ය හර්ෂ මහතා ලංකාවේ පාපැදි ධාවන තරගවලට සහභාගි වන පළමු විශේෂඥ වෛද්‍යවරයා ඔබ නේද? යන පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙවැනි ප්‍රධාන තරගවලට එන වෛද්‍යවරයා තමන් පමණක් විය හැකි බවත් ෆිට්නස් පවත්වා ගන්නට පාපැදි ධාවනයේ යෙදෙන වෛද්‍යවරුන් තවත් සිටින බවත්ය.

ගම්පහ වතුරුගම පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ හර්ෂ ජයසුන්දර මහතා 6 වැනි ශේ‍ර්ණියේ සිට උසස් පෙළ තෙක්ම අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඔහු පාපැදිය සමඟ කොතෙක් දිවි ගෙවා ඇත්ද කිවහොත් 10 වැනි ශේ‍ර්ණියේ සිට උසස් පෙළ සමත් වන තෙක්ම පාසල් යෑම සඳහා ඔහුගේ වාහනය වී ඇත්තේ පාපැදියයි.

එසේ වසර තුනක් පුරා දිනකට කිලෝමීටර් 80ක් පාපැදි ධාවනයේ යෙදුණු හර්ෂගේ අපූරු කතාව මෙසේය.

"1978දී කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වැනි පන්තියට මම ඇතුළු වුණා. 10 වැනි පන්තියේ සිට උසස් පෙළ දක්වාම මම බයිසිකලෙන් ඉස්කෝලෙ ගියේ. වතුරුගම අපේ ගෙදර සිට ඉස්කෝලෙට කිලෝමීටර් 40ක් තියෙනවා. බස් එකේ යනවාට වැඩිය පහසු වුණා. බස් එකේ ගියාම පැය දෙකහමාරක් තුනක් ගත්තා. බයිසිකලේ යනවා නම් පැය එකයි කාලක් වගේ ගියේ.

බයිසිකලේ යනකොට උදේ 5.45ට පිටත් වුණේ. බස් එකේ යන දවසට ඊට වඩා පැය භාගයක් කලින් ගෙදරින් එන්න වුණා. ඒ කාලේ රාජකීය විද්‍යාලයට ඒ වගේ දුරක් බයිසිකලයෙන් ආපු එකම කෙනා මම වෙන්න ඇති. බයිසිකලේ ගමනට මුලදී ගෙදරින් ටිකක් බාධා කළා. ඒ කාලේ අවුරුදු උත්සවවලට අයියයි මායි දෙන්නම රේස් පැද්දා. අයියා මට වඩා ඒ වගේ රේස් දිනුවා. එයා ටික කලකට පසුව නැවැත්තුවා. ඒත් මම දිගටම පැද්දා. 1986දී මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. බයිසිකලේ එහෙත් අරගෙන ගිහින් දිගටම පැද්දා. එහි අවුරුදු උත්සවවලටත් පැද්දා" යනුවෙන්ද විස්තර කළේය.

දන්ත වෛද්‍යවරයකු ලෙස 1986දී පළමු පත්වීම ලබා නුවරඑළියට යෑමෙන් පසුව පාපැදි ධාවනය අත්හැරීමට සිදුවූ බවත් සඳහන් කළ හර්ෂ ජයසුන්දර මහතා "පශ්චාත් උපාධිය සඳහා නැවතත් කොළඹට ආවා. ඉන්පසුව විශේෂඥ වෛද්‍ය උපාධියට 2005දී අයර්ලන්තයට ගියා. එහි ගියාට පසුවත් නැවතත් බයිසිකල් පැද්දා. එහිදී බොහෝ දුරට තිබුණෙ පුණ්‍ය කටයුතු සඳහා පැවැති පාපැදි සවාරි පමණයි. මමත් සමඟ මගේ පවුලේ අයත් එහි සිටියා. කිලෝමීටර් 300ක් වගේ සවාරිවලට එහිදී අවුරුදු 2-3ක් සහභාගි වුණා. 2007දී නැවත ලංකාවට ඇවිත් විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට පොළොන්නරුවට ගියා. ඒ ගිහිල්ලා ආවාට පසුව තමයි රේසිං බයික් එකක් අරගෙන පැද්දේ. නැවතත් බයිසිකල් රේස්වලට ආවෙ 2012දී විතර.

ඇවිල්ලා පළමු රේස් එක විදියට පැද්දෙ 2013 මාවනැල්ලෙ තිබුණ රේස් එකටයි. ඒ දිනක රේස් එක තමයි මම පළමු වරට රේසිං බයික් එකකින් පැද්දෙ. ඊට පසුව මම පැදපු ලොකුම රේස් දෙක ලක්පොහොර රේස් එකයි. සංවර්ධන ලොතරැයි රේස් එකයි. ඒ රේස්වලදි. ඒ කාලෙ හිටපු පාපැදි ශූර බොනිපස් පෙරේරාත් හමුවෙලා තියෙනවා.

ලක්පොහොර රේස් එක පළමු කණ්ඩායමේ ඇවිල්ලා තියෙනවා. එදා මම තේරුම් ගත්තා මට රේස් පදින්න පුළුවන් කියලා. මම තරගයට ගියෙත් මට කොතෙක් දුරට යන්න පුළුවන්ද කියල බලන්නයි. කොහොම වුණත් ගුවන් හමුදාවෙ බුද්ධික වර්ණකුලසූරිය, ජීවන් ජයසිංහ වගේ අය සමඟ මටත් පුහුණුවීම් කරන්න අවස්ථාව ලැබුණා" යනුවෙන් කීය.

"පළමු වරට දින තුනක සවාරියකට පැද්දෙ 2015දී. ගුවන් පාපැදි සවාරිය"යි යනුවෙන් ප්‍රකාශ කළ වෛද්‍ය හර්ෂ නම්වූ පාපැදි ශූරයා "ඒකෙදි 2 වැනි දිනයේ පාපැදිය ආබාධයක් ඇවිල්ලා නවතින්න සිදුවුණා. එතැන් සිට 2016-2017 ගුවන් පාපැදි සවාරි දෙකත් පැද්දා. ඒ තරග දෙකම අවසානය තෙක්ම ආවා. 2017 ගුවන් සවාරියෙ මම 35 වැනියා විදියට යාපනයේදී නිම කළා. ඒ වගේම එල්.එස්.ආර්. එකෙන් කරපු 'ටී කප්' ජාත්‍යන්තර පාපැදි සවාරියේදී මම ලංකාවෙ ක්‍රීඩකයන් අතර 17 වැනියා වුණා.

සමස්ත රේස් එකේදිම මම 27 වැනියාට ආවෙ 2016 පැවැති එස්.එල්.ටී. රේස් එකෙත් දින පහම සම්පූර්ණ කළා. මෙවර 57 වැනියා වුණේ දින පහම සම්පුර්ණ කළ ක්‍රිඩකයා ලෙසයි.

කෙසේ වෙතත් හර්ෂ නම් විශේෂඥ වෛද්‍යවරයා නොහොත් පාපැදියට බැස ඇති විශේෂ ක්‍රීඩකයාට හුදෙකලා පුහුණුවක යෙදෙන්නට ගුවන්, නාවික හා යුද හමුදා පාපැදි කණ්ඩායම් ඉඩ දුන්නේ නැහැ. හර්ෂගේ මනුස්සකම මුසුවූ හැකියාවන් ගැන අවබෝධ කරගත් ඔවුන් තමන්ට උදවු කළ බව හර්ෂ පවසන්නේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ මනුස්සයකු ලෙසිනි.

ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය හා ජීවන් ජයසිංහ වැනි ක්‍රීඩකයන් රේස් එකට පෙර තරග මාවතේ පුහුණු වෙන්න යනකොට මමත් යනවා. මටත් ඒ පහසුකම් දුන්නා. නවාතැන් පවා ලැබුණා. ගුවන් හමුදාවෙන් මට ලැබුණ සහයෝගය ඉතාමත් විශිෂ්ටයි. මෙවර තමයි එස්.එල්.ටී. සවාරිය මම කැපවෙලා කළේ. ගුවන්, නාවික, යුද හමුදාවල ප්‍රවීණ අය මට ගොඩක් උදවු කරනවා. මගේ වෘත්තිය නිසාත් ඒ අය අතර මම ප්‍රසිද්ධයි. සති අන්තයේදී පුහුණුවෙන වෙලාවට මම එයාලත් සමඟ යනවා.
එස්. එල්. ටී. (ඉ.ඹ්.ඊ) හා ගුවන් හමුදා පාපැදි සවාරි තරග තියෙන එක ගොඩක් වටිනවා. වැඩිම ප්‍රේක්ෂක කලාපයකට බලපාන එකම ක්‍රීඩාව මේකයි. අනෙක ක්‍රිකට්වලට වෙන් කරන සල්ලිවලින් 10%ක්වත් පාපැදි ක්‍රීඩාවටත් යෙදෙව්වොත් විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න නිසා ලංකාවේ ගොඩක් ක්‍රීඩකයෝ මේ ක්‍රීඩාව අතහැරලා තියෙන්නේ.

පාපැදි ක්‍රීඩා දිවිය තෘප්තිමත්ද?

අපොයි ඔව් යන පිළිතුරත් සමඟ තවත් කතාබහට එක්වූ වෛද්‍යවරයා,

"පඩියෙන් භාගයක් යන්නේ බයිසිකල්වලට තමයි. පොඩි පොඩි චෝදනා තිබුණත් බිරියගෙන් මට උදව් ලැබෙනවා. මම දන්නවා මම මේක රැඳිලා ඉන්න එක ගැන එයත් සතුටු වෙනවා. මට දැන් වයස 51යි. තව ටික කළක් රේස් පදිනවා. ඊළඟට තියෙන්නේ මිනුවන්ගොඩ එක් දිනක රේස් එකක්. පවුලේ අය ගැනත් විමසූ විට ඊටද පිළිතුරු දෙමින් මෙසේද කීය. බිරිය ගීති මුතුගල. ඇයත් උපාධිධාරිනියක්. සේවය කරන්නේ සමුපකාර දෙපාර්තමේන්තුවේ. පුතා දැන් ගම්පහ තක්ෂිලාවේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබනවා. දුව රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ.

ලබන වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ලංකාවේ මේ විදියට රේස් පදින එකම විශේෂඥ වෛද්‍යවරයා මම වෙන්න පුළුවන්. ඒත් කරන වෘත්තීය ක්‍රීඩාවට බාධාවක් කියලා මම හිතන්නේ නැහැ. මම අයර්ලන්තයේ ඉන්න කාලේ මා සමඟ වැඩ කරපු ශල්‍ය වෛද්‍යවරියක් උදේට කිලෝ මීටර් 18ක් දුවගෙන තමයි වැඩට එන්නේ. එහෙම ඇවිත් ඒ ඇඳුම් මාරු කරගෙන ශල්‍යාගාරයේ වැඩ කරලා හවසට වැඩ ඇරිලා යළිත් ඇඳුම් මාරු කරගෙන හවසට නැවත කිලෝමීටර් 18ක් ගෙදරට දුවනවා. මම මෙහේ බයිසිකලයෙන් වැඩට ආවොත් පිස්සෙක් විදියට ගණන් ගනීවි. අපි වාහනයක ටයි එකක් දාලා එන්න ඕන කියලානේ බොහෝ දෙනා හිතන්නේ.

සිරිනාම රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්