මම අසම්මත ප්‍රේමයට බනින්නේ නෑ...

  👤  2802 readers have read this article !
Published by : MB WEB 2017-08-03 17:15:48

සඳකැන් වැසිලා

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ඝනඳුරු රෑ තනියම නෑ
සොයා එන්න ඝනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු අෑ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු දැනේ....

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා...

සඳකැන් වැසිලා...

ගායනය _ වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

ආදරණීය පද රචකයකු සොඳුරු කලාකරුවකු වන ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කරන ලද "සඳකැන් වැසිලා" ගීතය මිහිරි හ¾ඩින් වික්ටර් රත්නායකයන් ගායනා කරනවා.හැබැයි පුංචි කාලයේ තරුණ කාලයේදී දැනුණු විදියට නෙවෙයි මට මේ ගීතය දැන් දැනෙන්නේ. මැදි වයසට එද්දී ජීවිතය ගැන පවා හිතන විදිහේ වෙන විග්‍රහයක් එනවා. ඒ වගේම එදත් කැමැති වුණු ඒ ගීතයට අදත් මම කැමැතියි. එදා දැනුණු දේ නෙවෙයි මෙදා දැනෙන්නේ. මේ ගීතයේ කියන අත්දැකීම මගේ ජීවිතයට සම්බන්ධ නෑ තමයි. හැබැයි ඒ තුළ ජීවිතයට ගත හැකි දේවල් ගොඩක් තියෙනවා.

අද ආදරය වුණත් දැනෙන්නේ මහා ගැඹුරු විදියකට. එදා හරි බොළඳයි. මේ ගීතය තුළ අසම්මත ප්‍රේමයක් ගැන කියවෙනවා තමයි. හැබැයි පොදුවේ ප්‍රේමයක් තියෙනවා. අද කාලේ සමහර ළමයි පවුල් පිටින් මරනවා විවිධ ප්‍රේම කතා නිසා. ඉස්සර අපිත් තමන්ගේ කෙල්ලට මොනවාහරි කිව්ව ගමන් රණ්ඩුවලට යනවා. නමුත් මේ ගීතය තුළින් ඒ වගේ වේලාවට කොහොමද මුහුණ දුන්නේ කියලා කියවෙනවා. ඒ නිසා මෙම නිර්මාණයේ කාලීන බව අදටත් වලංගුයි.

මේ ගීතයේ පළමු පද පේළියෙන් "සඳකැන්වලින් වැසිලා අඳුර එතිලා තියෙන මහා රැයක තනිකම නෑ සොයා එන්න ඝනඳුර තරු නිවලා" කියලා කියනවා. එහිදී කියන්නේ ඔහුගේ තනියට ඉන්නෙ හ¼ද විතරයි කියලා. ඉතින් අඳුර නිවල එන්න කියන රූපකාය තුළින් ඒක හරි ලස්සනට කියනවා. නමුත් පසුව කියනවා "මගේ එළිය අද ඔබ පමණයි" කියලා. සඳක් සේ නැවුම්ව, මිහිරිව ඔහුගේ ආදරය පවතින බවත් මෙතැනදි සඳහන් වෙනවා. පුදුම ආදරයක් එතැන තියෙන්නේ. ආදරයේ මහා ගැඹුර එහි කියැවෙනවා.

ඊළඟ පද කීපයත් හරිම ලස්සනයි. "ජීවිතය සතු එකම සුවේ හීසර පහරක වෙළෙනු පෙනේ" ජීවිතයට තියෙන එකම සැප, ජීවිතයේ හුස්ම තරම් වටින ඒ සුවය තමාට අහිමි වෙමින් පවතින බව තමයි හීසර පහරක වෙළෙනවා කියලා කියන්නේ.

පෙම්වතිය නැතිනම් බිරියගේ ආදරය අහිමි වීමක් ඔහුට දැනෙනවා. ඔහුට දැනෙනවා මේ ලොව ඉන්න තමා සතු ඒ ආදරවන්තියගේ ඇස් අසල්වැසියකු සොයන වග. ඔහුට ජීවිතය අහිමි වෙනවා යැයි දැනෙන්න ගන්නවා. ලෝකෙ තමන්ට අයිති ඇගේ ඇස් දෙක වෙන කෙනෙක් හොයනවා කියලා ලියන පද පෙළ පුදුමයි. "මෙලොව මා සතු අෑ සතු ඒ නෙතු" කියන වචනවල ගැළපුම හරිම ලස්සනයි.

ප්‍රේමකීර්ති මේ ගීතයට අදහස් කැටි කිරීම අති විශිෂ්ට ලෙස කර තිබෙනවා.

මේ ගීතයේ කියනවා "මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉදිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා" කියලා. මේ වගේ ලස්සනට හිතන්න පුළුවන් පිරිසක් බිහිවුණොත් ආදරයේදී හෝ ජීවිතයේදී මේ ලෝකයේ මිනිස්සු මුනිවරුන්ට සමාන වෙයි. බලන්න එහි කියනවා අපි දවසක වෙන් වෙමු කියලා. ඒ ඔහු කාගෙවත් හිතක් බි¼දලා නැති නිසාත් බිඳින්න අකමැති නිසාත්. බලන්න ඒ තුළ ඇති ශිෂ්ට සම්පන්න බව. ඔහු තනිකරම මුනිවරයෙක්. ඔහු තුළ තිබ්බ ආදරය කොයි තරම් විය හැකිද? ජීවිතය ඔහු පරිණතව දකිනවා. ඇත්තටම ඔහු කියන්නෙ මේ රහස දන්නේ ඔයයි මමයි අහසයි විතරයි කියලා ඉතින් මං කාටවත් කියන්නෙත් නෑ.

සියලු රහස් අපි අහස් තලයට පවරා නිහඬ වෙමු කියලා ඔහු කියනවා. එවන් ආදරයක්, උපේක්ෂාවක් අද කාලේට කොයිතරම් වටිනවාද?

ආදරය නිසා මරාගන්නේ නැතිව ආදරයෙන්ම සියල්ල විසඳා ගත යුතු බව මේ තුළ කියනවා. ගීතයකින් විය යුත්තේ මේ දේ නොවෙයිද.
මට ප්‍රේමකීර්ති මහත්තයාට වඳින්න තරම් ගෞරවයක් හිතේ උපදිනවා. ඔය ගීතය තුළින් අභ්‍යන්තරය දැක්ක හිතක්, කවදාවත් දාලා යන පෙම්වතියකට වත් බනියිද? නැහැ. ඒ උපේක්ෂා සහගත සමුදීම නිසා යන්න හිතන කෙනෙක් වුණත් නැවැත එන්න පුළුවන්.

එහෙම කියලා මං අසම්මත ප්‍රේමයට බනින්නේ නෑ. ඒවා ලෝකයේ පවතිනවා. ආදරයයි සල්ලාලකමයි වෙනස්. කසාද බැන්ද කියලා ආදරයක් හිත තුළ හට ගැනීමට බැරිකමක් නෑ. ආදරයක් දැනීම මිනිස් ස්වභාවය. ඒ වගේමයි රාගයත් මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතාවක්. ඒවා පටලවාගත යුතු නෑ. ආදරය රාගයට යන වාහනයක් කිව්වොත් නිවැරදියි. ඒ කෙසේ වෙතත් සංස්කෘතිය ඇතුළේ තමයි සියල්ල සිදු වන්නේ.

මට මතකයි සරත්චන්ද්‍ර මහත්තය කියලා තියෙනවා අපිට තියෙන්නේ හදවතෙන් භාගයයි. ඉතිරි භාගය තමයි අපට හමුවන්නේ. ඒ බිරියක් විදියට. හැබැයි ඒත් හරිම භාගය නෙවෙයි කියලා. ඉතින් ජීවිතය කියන්නේ ආදරය තුළ සක්මන් කිරීමයි. අන්න ඒ නිසයි මේ ගීතය මට මෙහෙම ආදරණීය වෙන්නේ.

නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්