දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ජය ලබන්න චන්දිමාල්ගේ පිරිස අද එස්.එස්.සී. පිටියට

  👤  2382 readers have read this article !
Published by : MB WEB 2017-08-03 09:36:14

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (03දා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙරට අතර පවත්වනු ලබන 39 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

මේ වනවිට තරගාවලිය 1-0 ලෙස ජයගෙන ඇති ඉන්දීය කණ්ඩායම අද තරගයට මුහුණ දෙන්නේ යහපත් මානසිකත්වයක් යටතේ වුවද ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ ආබාධ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ විශාල පීඩනයක් යටතේ විය හැකිය.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ රංගන හේරත් අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පැවැතුණද ඔහු අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අද තරගය පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවැසීය.

"අපිට ඕන පසුගිය තරගය අමතක කරන්න. ඒ නිසා අපි ඒ තරගය අමතක කරලා ධනාත්මකව ඉදිරිය තරගවලට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.

මම මගේ කණ්ඩායමේ හැම දෙනාම සමඟ මේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන්ටත් ඕන මේ තරගාවලිය සාර්ථකව නිමා කරන්නයි. හෙට (අද-03) තරගය තියෙන මේ එස්.එස්.සී. තණතීරුව වියළි එකක් බව පේනවා. ඒක නිසා ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් අසේල ගුණරත්න වෙනුවට ධනංජය සිල්වාට අවසන් 11 දෙනා අතරට එන්න වැඩි අවස්ථාවක් තියෙනවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා රංගන සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"මේ වනවිට රංගනගේ ආබාධ තත්ත්වය පහවෙලා තියෙනවා. ඒ නිසා හෙට (අද) රංගන ක්‍රීඩා කරාවි. කොහොම වුණත් මලින්ද පුෂ්පකුමාරටත් අද වැඩි අවස්ථාවක් තියෙනවා කණ්ඩායමට එන්න" යැයි පැවැසූ චන්දිමාල් තමන් ඇතුළු කණ්ඩායම හෑල්ලුවට ලක්වී නොමැති බවද පෙන්වා දුන්නේය. "ඉන්දියාව ලෝකෙ අංක එකේ කණ්ඩායම වුණත් අපි කවදාවත් තරගාවලිය 3-0ක් ලෙස පරදින්න යන්නේ නැහැ. අපි නිතරම යන්නේ තරගයක් දිනන්නයි. මා ළඟ දක්‍ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ නිසා අපි බලාගෙන ඉන්නේ මේ තරගය ජයගන්නයි" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා කීය.

කෙසේ වුවත් අද තරගය සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි පැවැසුවේ තම කණ්ඩායම යහපත් මානසිකත්වයෙන් පසුවන බවත්, ඔවුන් ඔවුන්ගේ දක්‍ෂතා හෙට (අද) තරගයේදීත් මැනවින් විදහා දක්වනු ඇති බවය.

"හෙට පැවැත්වෙන තණතීරුවෙ තණකොළ නැති තත්ත්වයක් තමයි පෙන්නුම් කළේ. ඒත් තණතීරුව දඟපන්දු යවන්නන්ට උචිතද, වේගපන්දු යවන්නන්ට උචිතද යන්න අපිට එතරම් වැදගත් නැහැ. ඕනෑම තණතීරුවක ක්‍රීඩා කිරීමට අපි සූදානම් විය යුතුයි" යනුවෙන් ඉන්දීය නායකයා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්