ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවෙන් සිවු දෙනෙක් තරග බිමට

  👤  1990 readers have read this article !
Published by : MB WEB 2017-08-02 09:24:55

විචිත්‍ර වීරසිංහ

එළැඹෙන 4 වැනිදා සිට 13 වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගි වන සිවු දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනකු මේ වනවිට ලන්ඩන් නුවර බලා පිටත්ව ඇති අතර, ඇමෙරිකාවේ සිටින හිරුණි විජේරත්න හා එංගලන්තයේ වෙසෙන ඉන්ද්‍රජිත් කුරේ අද (02දා) ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට නියමිතය.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් නිමාලි ලියනාරච්චි මීටර් 800 ඉසව්ව වෙනුවෙනුත්, වරුණ ලක්‍ෂාන් හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙනුත්, අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා හිරුණි විජේරත්න මැරතන් පිරිමි හා කාන්තා තරග සඳහාත් සහභාගි වනු ඇත.

අගෝස්තු 4 වැනිදා සමාරම්භක උළෙලින් අනතුරුව මීටර් 100 (පිරිමි) මූලික වටයේ තරගවලින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භවීමට නියමිතව ඇත.

එහිදී අගෝස්තු 6 වැනිදා පිරිමි මැරතන් තරගයට සහභාගි වන ඉන්ද්‍රජිත් කුරේ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග ඉසව්වකට සහභාගි වන පළමු ක්‍රීඩකයා බවට පත්වන අතර, එදිනම හිරුණි විජේරත්නද මැරතන් (කාන්තා) තරගය සඳහා එක්වීමට නියමිතව තිබේ.

තවද අගෝස්තු 10 වැනිදා නිමාලි ලියනාරච්චි මීටර් 800 මූලික වටයට ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර, 11 වැනිදා වරුණ ලක්‍ෂාන් හෙල්ල විසිකිරීමේ මූලික වටයට පිවිසෙයි.
ලෝක ශූරතා මලල ක්‍රීඩා ඉතිහාසයේදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් හිමිකර ගෙන ඇති අතර, එම දෙකෙහිම ගෞරවය දිනා ඇත්තේ මීටර් 200 (කාන්තා) ඉසව්ව නියෝජනය කළ සුසන්තිකා ජයසිංහය.

මේ අතර පිළිගත් රටවල් 202ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක ශූරතාවලිය සඳහා වැඩිම පිරිසක් සහභාගි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම පිරිස 167ක් වන අතර, සත්කාරක මහා බි්‍රතාන්‍යයෙන් 92ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට පෙළ ගැසී සිටිති.

කෙසේ වුවත් මේ වනවිට මීටර් 100 හා 200 ලෝක වාර්තා සතු කරගෙන සිටින ජැමෙයිකාවේ උසේන් බෝල්ට් මෙම තරගාවලියෙන් පසු සමුගැනීමට අදහස් කරගෙන ඇති බැවින් ලොව සිටින සියලුම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය මේ වනවිටත් ඔහු කෙරේ යොමුව ඇති අතර, මෙවරත් ඔහු මීටර් 200 ඉසව්වට තරග නොවදින අතර, මීටර් 100 හා මීටර් 100×4 යන ඉසව් දෙකේදීම රන් පදක්කම් හිමිකරගනු ඇතැයි මේ සියලු දෙනාගේ අපේක්‍ෂාව වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්