චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයට එන ලකුණු

  👤  1717 readers have read this article !
Published by : MB WEB 2017-08-01 09:40:42

සංචාරක ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අනිද්දා (3දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම සඳහා යළි පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

නිව්මෝනියා රෝගයට ගොදුරු වීම නිසා චන්දිමාල්ට ගාල්ලේදී පැවැති ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි වූ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී නායකත්වය දුන් රංගන හේරත්ගේ ඇඟිල්ල එම ටෙස්ට් තරගයේදී තුවාල වීම හේතුවෙන් කොළඹ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත බවද පැවැසේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගේ අදහස වී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා සිට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා චන්දිමාල් යහපත් යෝග්‍යතාවකින් පසුවන බවයි. තවද චන්දිමාල් පසුගිය දිනවල පිතිකරණ පුහුණුවේ යෙදුණු බවද පවසා ඇති ගුරුසිංහ තවදුරටත් සඳහන් කර ඇත්තේ රංගන හේරත්ගේ ඇඟිල්ලෙහි ඇතිවී තිබෙන ආබාධය ගැන ඉදිරි දින දෙක තුනද සැලකිලිමත්ව බැලිය යුතු බවයි.

කෙසේ වෙතත් හේරත් දෙවැනි ටෙස්ට් තරගය සඳහා නිසි යෝග්‍යතාවකින් පසුවනවාදැයි අවසන් මිනිත්තුව තෙක් බලා සිටින බව ක්‍රිකට් කළමනාකරු තවදුරටත් පවසා ඇත. මේ අතර ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී අංක 3 පිතිකරුවා ලෙස ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කළ අතර චන්දිමාල් නැවත කණ්ඩායමට පැමිණියහොත් ධනුෂ්කගේ ස්ථානය දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුට අහිමිවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව කුසල් මෙන්ඩිස්ට යළිත් අංක 3 ස්ථානයේ පිතිකරණය සඳහා අවස්ථාව ලැබෙන අතර කුසල් පසුගිය ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු රැස් කළේ අංක 4 පිතිකරුවා ලෙසය.

එසේම ප්‍රථම ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම නිසා ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති අසේල ගුණරත්නගේ ස්ථානය ගැනීමට ධනංජය සිල්වාට අවස්ථාව ඇති බවද අසංක ගුරුසිංහ මාධ්‍ය වෙත පවසා ඇත. කෙසේ වෙතත් ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටෙස්ට් සංචිතයම දෙවැනි ටෙස්ට් තරගයේදීත් යොදවා ගන්නවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැති බවත් තවත් ක්‍රීඩකයන් සංචිතයට පිටතින් සම්බන්ධ කර ගන්නවාද නැද්ද? යන්න අද දිනයේදී පැවැත්වෙන සාකච්ඡාවලින් පසුව තීරණය කරන බවත් ක්‍රිකට් කළමනාකරුවා පවසා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්