ඉන්දියාව පළමු ඉනිමෙන් ලකුණු 446ක් ඉදිරියෙන්

  👤  1732 readers have read this article !
Published by : MB WEB 2017-07-28 08:11:18

සිරිනාම රාජපක්‍ෂ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 399ක් ලබා සිටියදී ඊයේ දෙවැනි දිනයටත් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායම තේ පානයට මිනිත්තු 45කට පමණ පෙර සියලුම දෙනා දැවී ලකුණු 600කට ඉනිම අවසන් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5කට ලකුණු 154ක් වාර්තා කර ඇත්තේ මැතිව්ස් හා දිල්රුවන් නොදැවී පිළිවෙළින් ලකුණු 54ක් හා 6ක් ලබා සිටියදීය.

ඊයේ ගාල්ලේදී දෙවැනි දිනටත් පැවැති තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන්නට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට මිනිත්තු 11කට වඩා එක්ව සිටින්නට ඉඩ නොදුන් උමෙෂ් යාදව් ඉනිමේ 2වැනි පන්දුවාරයේ 5වැනි පන්දුවේදී ලකුණු 2ක් ලබා සිටි දිමුත් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගන්නාවිට මුළු ලකුණු 7ක් විය.

ඉන්පසුව 15වැනි පන්දුවාරය යැවූ ශාමිගේ 2වැනි හා 6වැනි පන්දුවලදී පළමු ස්ලිප්හි සිටි ධවාන්ට උඩපන්දු දී ධනුෂ්ක හා කුසල් එකම ආකාරයෙන් දැවී ගියේ පිළිවෙළින් ලකුණු 16කට හා බින්දුවකටය. තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක එසේ දැවී ගිය පසුව තරංග පන්දු 44කට මුහුණ දී තම 8වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ පසුව මැතිව්ස් එක්ව ලකුණු 57ක සබඳතාවක් තබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුවිය.

ඉන්දීය කණ්ඩායමේ අජින්කෙයා රහනේ ඊයේ දිනයේ පළමු පන්දුවට මුහුණ දෙමින් දිල්රුවන් පෙරේරා ඉදිරියේ ලකුණුක් ගෙන ලකුණු පුවරුව 400ක් ලෙස සටහන් කළ අතර පෙරේදා දිනයේ ලකුණු 144ක් ලබා නොදැවී සිටි අනෙක් පිතිකරු පුජාරා ඊයේ තවත් ලකුණු 9ක් පමණක් එකතු කර සිටි මොහොතේ ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙසත් ප්‍රදීප්ගේ 4වැනි කඩුල්ල ලෙසත් දැවී ගියේ කඩුලු රකින දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දීමෙනි. ඒ සමඟම එතෙක් රහනේ සමඟ 4වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක සබඳතාව අවසන් වූ අතර රහනේ තම 12වැනි ටෙස්ට් අර්ධ ශතකයද පසුකර සිටියදී ඉනිමේ 102වැනි පන්දුවාරය යැවූ ළහිරු කුමාර හමුවේ පළමු ස්ලිප්හි සිටි දිමුත් අතට උඩපන්දුවක් දීමෙන් රහනේද ලකුණු 57කට දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 432ට කඩුලු 5කි.

ඉන් පසුව රවිචන්ද්‍රන් අෂ්වින් සහ රිද්දිමාන් සහා දෙදෙනා එක්ව 6වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක්කර සිටියදී මිඩ් ඕන්හි සිටි දිල්රුවන් අතට උඩපන්දුවක් දීමෙන් සහා ලකුණු 16කට දැවී ගියේ ශ්‍රී ලංකා නායක රංගන හේරත්ගේ මෙම තරගයේ පළමු කඩුල්ල ලෙසිනි.

එසේ තම පළමු කඩුල්ල සඳහා හේරත්ට පන්දුවාර 32ක්ම වැය කිරීමට සිදුවීම විශේෂÀවයක් වූ අතර යළිත් දික්වැල්ලට උඩපන්දුවක් දීමට සලස්වමින් අෂ්වින් ලකුණු 47කට දවා ගන්නට ප්‍රදීප් සමත්වීමෙන් ලකුණ 88ට කඩුලු 5ක් ලෙස ඔහුගේ ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාගැනීමේ පළමු අවස්ථාව සනිටුහන් කළේය.

ඉන් පසුව මෙම තරගයෙන් ටෙස්ට් වරම් ලැබූ හාර්ඩික් පන්ඩියා සමඟ එක්වූ රවීන්ද්‍ර ජඩේජා ඊයේ දිවා විවේකයට තරගය නතර කරන විට කඩුලු 7කට 503ක් ලෙස ඉන්දීය ඉනිම ගෙනගොස් තිබූ අතර දිවා භෝජනයෙන් පසුව එනම් පන්ඩියා ලකුණු 4ක් ලබා සිටියදී ඉනිමේ 119වැනි පන්දුවාරය යැවූ හේරත්ගේ අවසන් පන්දුවේදී පළමු ස්ලිප්හි සිටි දිමුත්ට දුන් උඩපන්දුව අත්හැරියේය.

එහි වාසියද ලබා ගත් පන්ඩියා තම මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කරමින් මෙහොමඩ් සාමි සමඟ 9වැනි කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවක්ද ගොඩනැඟීය. ඒ අනුව පන්ඩියා , සාමි හා යදාව්ගේ වේගවත් පිතිප්‍රහාරය නිසාම ඔවුන් අවසන් පන්දුවාර 10දී ලකුණු 62ක්ම එකතුකර තිබිණි.

ඡායාරූප _ තාරක බස්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්