සංගීත අධ්‍යක්ෂණයෙදි නිමේෂ්ගේ සුපිරි ඉනිම දෙවැනි ඉනිමද?

  👤  2065 readers have read this article !
Published by : MB WEB 2017-07-27 16:17:30

මේ දවස්වල කාගේත් කතා බහට ලක්වන ටෙලිනාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. පසුගිය දවසක මේ ටෙලිනාට්‍යයෙන් කරළියට ආපු "නිදිනේනා" ගීතය ඇතුළු ගීත කිහිපයක් එක්ක එහි ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. ඒ අපූරු ගීත සංගිතවත් කළ දෙවෙනි ඉනිමෙහි සංගීත අධ්‍යක්ෂවරයා වන නිමේෂ් කුලසිංහ 'හදගැස්ම' සමඟ කතාබහට එක් වුණේ මේ විදියටයි.

දෙවෙනි ඉනිමෙන් කරළියට ආපු ගීතත් එක්ක දැන් ඔබ ගැනත් කතා බහක් ඇති වෙලා. මොනවගේ හැඟීමක්ද ඒ ගැන තියෙන්නේ?

ඇත්තටම හරි සතුටුයි. මං වෘත්තීයමය වශයෙන් මේ ක්ෂේත්‍රයෙ වැඩ කරන්න අරන් තාම අවුරුදු කිහිපයයි. ඉතින් තමන් කරපු දෙයක් මේ විදියට මිනිස්සු අතරෙ කතාබහට, ඇගයීමට ලක් වෙද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා. මං හිතන්නේ ඕනම කලාකරුවෙක් පිටට නොපෙන්නුවට ඒ ඇගයීම බලාපොරොත්තු වෙනවා.

ළඟදි සම්මානයකුත් ලැබුණලු නේද?

ඔව්. පසුගියදා පැවැත්වුණු ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ 2016 වර්ෂයේ විශිෂ්ටතම නාද ශික්ෂණයට හිමි සම්මානය මට ලැබුණා.

ඒ සම්මානය හිමි වුණේ ඔබේ මොන නිර්මාණය වෙනුවෙන්ද?

2016 වර්ෂයේ අලුත් අවුරුද්ද සඳහා දෙරණ ආයතනය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකට තමයි ඒ සම්මානය මට ලැබෙන්නේ.

ඔබ සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණු ගමන් මාර්ගය මතක් කළොත්?

මම උසස් පෙළ අවසන් කළාට පස්සේ වීඩියෝ ඉන්ජිනියරින් විෂය ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මුලින්ම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ වාදකයෙක් විදියට. එහිදී තමයි මට පූර්ණ කාලීනව සංගීතය ඉගෙන ගන්න අවස්ථාව සැලසෙන්නේ. ඔය අතරෙ මම කම්පෝසින්, ඕඩියෝ රෙකෝඩින් එහෙමත් කරලා තිබ්බා. ඒත් එක්කම ඕඩියෝ ඉන්ජිනියරින් සහ කම්පියුටර් ටෙක්නොලොජි වගේ හැම පැත්තම හදාරමින් තමයි මම මේ වෘත්තියට පිවිසෙන්නේ.

මල් සින්දුමයි දැන් හැදෙන්නේ කියලා මතයක් තියෙනවා. ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ?

මගේ මතය නම් ඔය හැම දෙයක්ම තියෙන්න ඕනේ. නරක දේවල් ගොඩක් ඇතුළෙ හොඳ දෙයක් ආවමනෙ ඒකේ අගේ වැඩි. අනිත් අතට මල් සින්දු කියන එකත් හැමෝටම කරන්න බැහැ. ඒකත් කලාවක්. ඉතින් ඔය හැම ජාතියකම ගීත රස විඳින්න මිනිස්සු කැමැතියි.

ඉදිරියේදී ඔබෙන් තවත් වෙනස් නිර්මාණ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

ඇත්තෙන්ම මේ වෙද්දි දෙවෙනි ඉනිම වෙනුවෙන් මම කරපු නිර්මාණ තුන ගත්තොත් ඒ ගීත තුන එකිනෙකට වෙනස් ආර තුනකින් නිර්මාණය වුණේ. ඉතින් ඒ වගේ තවත් වෙනස් ආරවල ගීත ඉදිරියෙදිත් ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ කියන්නේ ඉස්සරහටත් දෙවෙනි ඉනිමෙන් අලුත් ගීත අහන්න පුළුවන් කියන එකද?

ඔව්, දෙවෙනි ඉනිමෙන් තවත් ගීත දෙකක් ළඟදිම එළියට එනවා. ROCK සහ POP සංගීතයට වැඩි නැඹුරුවක් ඇති විදියට තමයි මම ඒ ගීත දෙක නිර්මාණය කරලා තියෙන්නේ.

තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබට ප්‍රවීණයන්ගෙන් අත හිත ලැබෙනවද?

මට නම් ඇත්තටම ප්‍රවීණයන්ගෙන් ප්‍රශ්න ඇති වෙලා නැහැ. ගොඩක් ප්‍රවීණ දැවැන්ත චරිත මගේ පසුගිය වැඩ ගැන අගය කිරීම් නම් කරලා තිබ්බා. ඉතින් මට ප්‍රවීණයන්ගෙනුත් හොඳ දිරි ගැන්වීමක් ලැබෙනවා.

සංගීත අධ්‍යක්ෂණය වෘත්තිය ලෙස තෝරා ගැනීම ලංකාවේ පසුබිම තුළ සුබවාදීද?

ඒක එක එක්කෙනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. මම නම් සංගීත අධ්‍යක්ෂණය විතරයි දැනට වෘත්තියක් විදියට කරන්නේ. ඉතින් මම සෑහෙන දුරට සාර්ථක වෘත්තියක් විදියට මෙය දකිනවා. ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් නිසා අපිට තියෙන වෙළෙඳපොළත් කුඩා වීම තමයි මම දැනට නම් ප්‍රශ්නෙකට කියලා දකින්නේ.

දෙවෙනි ඉනිමෙන් ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක අලුත් වැඩවලටත් දැන් ආරාධනා ලැබෙනවා ඇති?

ඔව්. තවත් ටෙලි නාට්‍ය කිහිපයකට වගේම අලුත් චිත්‍රපටයකටත් සංගීත අධ්‍යක්ෂණයට එකතු වෙන්නත් මේ වෙද්දි ආරාධනා ලැබිලා තිබෙනවා.

මෙතෙක් ආපු ගමනට උදවු කරපු අය ගැනත් මතක් කරන්න මේක අවස්ථාවක් කරගමු නේද?

මගෙ අම්මා කාන්තිලතා රාජපක්ෂ, තාත්තා ශාන්ත කුලසිංහ තමයි මූලිකව මගෙ පසුපසින් ඉන්නේ. ඒ වගේම තරුණ සේවා සභාවෙන් මට ලැබුණු දායාදයත් මගේ පාසලත්, විශේෂයෙන් දිලුක් ගබඩාමුදලිගේ සර්ගෙන් සහ දෙරණ ආයතනයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් ලැබුණු සහාය මතක් කරන්න ඕනෙ.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්