ශ්‍රී ලංකා දඟ පන්දු බළඇණියට ගාල්ලේදී දැඩි ප්‍රහාරයක් ධවාන් දවා ගන්නට ගිය අසේල තරගාවලියෙන්ම දැවී යයි

  👤  1600 readers have read this article !
Published by : MB WEB 2017-07-27 08:44:11

සිරිනාම රාජපක්‍ෂ -ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...

ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට ඊයේ ගාල්ලේදී සමත් වීමත් ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව (253) වාර්තා කරන්නට ශිකර් ධවාන් සහ චෙටිශ්වර් පුජාරා සමත් වීමත් හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට ඉන්්දීය කණ්ඩායම කඩුලු 3කට ලකුණු 399ක් ලබා සිටියේය.

ඉන්දීය නායක විරාත් කෝලි කසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 10.00ට ආරම්භ වූ තරගයේ මිනිත්තු 38ක් ගතවෙද්දී තම සිව්වැනි පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප්ගේ පළමු පන්දුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දී ලකුණු 12ක් ලබා සිටි ආරම්භක පිතිකරු අභිනව් මුකුන්ඩ් පළමු කඩුල්ල ලෙස දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 27ක් සේ සටහන් විය. එහෙත් ඉන් පසුව අනෙක් ආරම්භක පිතිකරුවා වූ ශිකර් ධවාන්ට එක්වූ චෙටිශ්වර් පුජාරා ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව 280ක් දක්වා රැගෙන ගියේ ධවාන් ලකුණු 31ක් ලබා සිටි විට දුන් උඩ පන්දුව 2 වැනි ස්ලිප්හි සිටි අසේල ගුණරත්න අත්හැරිය වාසියද ලබා ගනිමිනි. එහිදී පන්දු යැවූ ළහිරු කුමාර අවාසනාවන්ත පන්දු යවන්නා වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගත් ශිකර් ධවාන් මින් පෙර ඔහු ලබා සිටි ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය වන 187 ඉක්මවා තවත් ලකුණු 3ක් එකතු කර ගත්තේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට ගාල්ලේදී වෙනදා මෙන් වැඩ පෙන්වන්නට ඉඩ නොතබමිනි.

මාස 9කට පමණ පසුව යළිත් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට එක්වූ ධවාන් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් තම ලකුණු 50 පන්දු 62කදීත් ඔහුගේ 5 වැනි ටෙස්ට් ශතකය පන්දු 110 කදීත් සම්පූර්ණ කළ අතර ඊට තවත් ලකුණු 80ක් එකතු කරගත්තේ පන්දු 58ක් තුළදීය. ඒ අනුව ධවාන් ලබාගත් 190 පසුගිය 2015 වසරේදී ගාල්ලේදී පළමුවරට ටෙස්ට් තරගයකට මුහුණ දෙමින් ලබාගත් ලකුණු 134 පසුකරයෑමක්ද වන අතර ප්‍රදීප්ගේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවීයන විට මිනිත්තු 236ක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 31ක් එල්ල කොට තිබිණි.

එසේ ඔහු දැවී යන විට ශ්‍රී ලංකාවට එරෙහිව 2 වැනි කඩුල්ල වෙනුවෙන් 2009දී රාහුල් ඩ්‍රාවිඩ් හා විරේන්ද්‍ර ශෙවාග් තබා තිබූ වාර්තාව බිඳී ගොස් තිබූ අතර 55 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට මිඩ් ඕෆ්හි සිටි මැතිව්ස් අතට උඩපන්දුවක් දී ධවාන් දැවී ගියේ තේ පානයට තවත් එක් පන්දුවාරයක් පමණක් ඉතිරිව තිබියදීය.

කෙසේ වෙතත් මුළු ලකුණු සංඛ්‍යාව 280දී ධවාන් පිටියෙන් ඉවත් වීමෙන් පසුව පුජාරාට එකතුවූ නායක කෝලි 282ට 2ක්ව තිබියදී තේ පානයට ගියද තේ පානයෙන් පසුව ප්‍රදීප් යැවූ පළමු පන්දුවාරයේ 4 වැනි පන්දුවට කෝලි දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දුනි. එය නොදැවී යෑමක් සේ විනිසුරු තීරණය කළද පසුව රංගනගේ ඉල්ලීම යළි විමසීමට ලක්කිරීමෙන් ඉන්දීය නායකයා දැවී ගිය බව සනාථ කරගන්නා ලදී. එවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 286 කට කඩුලු 3ක් වූයේ කෝලි ලකුණු 9කට දැවී ගිය නිසාය.

ඉන් පසුව පුජාරාද ඊයේ දිනයේ 67 වැනි පන්දුවාරයේදී තම 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර පළමු දිනයේ වැටුණ ඉන්දීය කඩුලු තුනේම අයිතිය වේගපන්දු යවන ප්‍රදීප්ට හිමිවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ධවාන් දවාගන්නට නොහැකි වූ අවස්ථාවේ උඩපන්දුව රැකගැනීමට යාමේදී අසේලගේ වම් අතේ මහපට ඇඟිල්ල කැඩී ගොස් ඇතැයිද ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවද පැවැසේ. ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලියම ඔහුට අහිමි වන බවද ඊයේ සන්ධ්‍යාවේ වාර්තා විය.

ඡායාරූප _ තාරක බස්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්