ක්‍රිකට් ලොව දඟ පන්දු රජුන් තිදෙනා අද ගාලු කොටු පවුර අබියස සටනට

  👤  2331 readers have read this article !
Published by : MB WEB 2017-07-26 09:36:57

සිරිනාම රාජපක්ෂ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන ප්‍රථම ටෙස්ට් තරගය දෙරට අතර පැවැත්වෙන 39 වැනි ටෙස්ට් තරගය ලෙස සටහන් වන අතර මෙම කණ්ඩායම් දෙක අතර මෙහි පැවැත්වෙන 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙසද වාර්තාවේ.

ඒ අනුව මෙහි පැවැති ටෙස්ට් තරග හතර අතරින් තරග 3කම ජය ශ්‍රී ලංකාවටත් එක් තරගයක් පමණක් ජය ගැනීමේ අවස්ථාව ඉන්දියාවටත් ලැබී ඇති අතර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශේ්‍රණිගත කිරීම් අනුව පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබා සිටින ක්‍රීඩකයන් තිදෙනාම අද තරගයට ක්‍රීඩා කිරීමද විශේෂත්වයකි.

එනම් මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා නොකළ රවීන්ද්‍ර ජදේජා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් අතර පළමුවැන්නා ලෙසත් රංගන හේරත් එම ලයිස්තුවේ දෙවැන්නා ලෙසත් අද තරගයට සහභාගී වන අතර තම 50 වැනි ටෙස්ට් තරගයට අද ක්‍රීඩා කරන රවිචන්ද්‍රන් අෂ්වින් එහි 3 වැනි ස්ථානයට පත්ව ඇත.

තවද ජදේජා හා අෂ්වින් යන දෙදෙනා ලොව හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයන් ශේ්‍රණිගත කිරීම් ලයිස්තුවේ පිළිවෙළින් 2 වැනි හා 3 වැනි ස්ථාන දිනාගෙන සිටීමද විශේෂත්වයක් වන අතර මෙම ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා නායකයාද වශයෙන් කටයුතු කරන රංගන හේරත් ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 16කට සහභාගිවෙමින් කඩුලු 93ක් තමන් සතුකර ගෙන තිබීමද ප්‍රතිවාදී ඉන්දියානුවන්ට අභියෝගයක් වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වනු ඇත.

කෙසේ වෙතත් සම්ප්‍රදායානුකූලව ටෙස්ට් තරගයකට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඊයේ ශ්‍රී ලංකා නායක රංගන හේරත් ප්‍රකාශ කර සිටියේ ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වී සිටින ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමේදී තම තමන්ගේ වගකීම් ඉටුකිරීමට වගබලා ගතහොත් මෙම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ලබා ගැනීමට හැකිවනු ඇති බවයි. තවද මෙම ටෙස්ට් තරගය සඳහා සකසා ඇති ගාල්ල තණතීරුව පළමු දින දෙක තුනේදී පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ටෙස්ට් තරගයකට උචිත තණතීරුවක් බවද පැවැසූ ශ්‍රී ලංකා නායකයා " අපේ අවසන් කණ්ඩායම කුමක්ද කියා තවම තීරණයක් ගෙන නැහැ.

නමුත් නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනෙක් ක්‍රීඩා කළොත් නවක ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාරටත් අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබෙනවා. නමුත් යම් ආබාධිත තත්වයක් නිසා පසුගිය දිනවල පන්දු යැවීමෙන් වැළැකී සිටි අසේල ගුණරත්නත් දැන් සම්පූර්ණ යෝග්‍යතාවකින් සිටින නිසා ඔහුත් මෙම තරගයේදී පන්දු යවන්නකු ලෙස යොදාගන්නවා" යනුවෙන් කීය.

තවද ඇසූ පැනයකට පිළිතුරු දෙමින් හේරත් ඊයේ පවසා සිටියේ තමන් විශ්‍රාම ගියත් නැතත් මීළඟ විකල්ප දඟ පන්දු යවන්නා ලෙස මලින්ද නම් කළ හැකි බවයි. කෙසේ වෙතත් තරගයේ අවසන් දින දෙකේදී දඟ පන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් උදා වන බවට විශ්වාසය පළකළ හේරත් " ධනුෂ්ක ගුණතිලක මේ ටෙස්ට් තරගයේදී ආරම්භක පිතුකරුවකු ලෙස යොදා ගැනීම ගැන දැන්ම කියන්න අපහසුයි. ඔහු ඒ සඳහා මානසිකවත් දක්‍ෂතා අතිනුත් හොඳ මට්ටමක ඉන්නවා.

නමුත් පිතිකරණ අංශයේ එක් වෙනසක් සිදුවෙනවා. ඒ වගේම අපි ඉන්දීය කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකු වෙනුවෙන්ම වෙන වෙනම සැලැසුම් කරල තිබෙන නිසා ගාල්ල ක්‍රීඩාංගණයේදී මින් වසර 2කට පෙර ඔවුන්ට අත්කර දුන් ප්‍රතිඵලයම ලබා දෙන්න මෙම ක්‍රීඩාංගණයේ ඇති අපි සතු වාසිදායක තත්ත්වය යොදාගන්නවා" යනුවෙන්ද කීය.

මේ අතර ඊයේ අප වෙත අදහස් දැක්වූ ඉන්දීය නායක විරාද් කෝලි කියා සිටියේ තම කණ්ඩායම ක්‍රීඩා කරන්නේ උසස් මට්ටමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කිරීම මූලික කරගෙන මිසක ප්‍රතිවාදී කණ්ඩායම කවුද කියන කරුණ මුල්කරගෙන නොවන බවයි. එසේම මෑත කාලයේදී තමන් මුහුණ දුන් කරුණු අමතක කොට ඉදිරිය ගැන පමණක් සිතා තම වගකීම තේරුම් ගෙන නායකයකු ලෙස කටයුතු කරන බවද කී ඉන්දීය නායකයා "මෙවර ගාල්ලේදී ලැබී තිබෙන තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වන යහපත් එකක් බව පේනවා. අපිත් නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනෙකුගෙන් ක්‍රීඩා කරනවාද කියල තවම තීරණයක් නැහැ.

නමුත් හාර්ඩික් පාන්ඩියා වැනි තුන්ඉරියව් ක්‍රීඩකයකුත් අපි සතුව සිටින නිසාත් රාහුල් වගේ දක්‍ෂයකුගෙ ආරම්භක ස්ථානයට ආදේශකයො ඉන්න නිසාත් සමබර කණ්ඩායමක් ක්‍රීඩා කරනවා. අනෙක අපේ එක් කෙනෙක් අසනීප වුණා කියල අපි අත්හදාබැලීම් කරන්න යන්නෙත් නැහැ' යැයිද පැවැසීය.

ඡායාරූප _ තාරක බස්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්