අපිව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්නයි සමහරුන්ට ඕන වුණේ

  👤  2466 readers have read this article !
Published by : MB WEB 2017-07-24 16:08:51

ගයාන් කාර්යබහුලයි වගේ..?

ඔව්. කාලයක් මට වැඩවලට ආරාධනා ලැබුණෙත් අඩුවෙන්. මේ දවස්වල මට හොඳ වැඩ කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. "නිසල අරණ, පත්තිනි, කවුරුන්ද නුඹ මගේ, රතු පිච්ච" කියන ටෙලි නාට්‍ය හතරෙන්ම මාව පේන්න ඉන්නවා. ඒ වැඩත් එක්ක තමයි මම කාර්යබහුල වෙලා ඉන්නේ.

දැන් එතකොට ආයෙත් ගයාන්ව අධ්‍යක්ෂකවරුන්ට ඕන වෙලාද..?

අධ්‍යක්ෂවරුන්ට කොයි කාලෙත් මාව වුවමනා වෙලා තිබුණා. හැබැයි යම්කිසි පිරිසක් කටකතා පතුරවලා තිබ්බා මමයි චතුරිකායි අපේ ප්‍රඩක්ෂන්වල විතරයි වැඩ කරන්නේ කියලා. ඉතිං සමහර අධ්‍යක්ෂවරු මට කියලත් තිබුණා අපේ වැඩවලට ගයාන් එන්නේ නෑනේ කියලා. නමුත් මමයි, චතුරිකායි අපේ නිර්මාණවල විතරක් රඟපානවා කියලා තීරණය කරලා තිබුණේ නැහැ. අපිව ක්ෂේත්‍රයෙන් අයින් කරලා දාන්නයි සමහරුන්ට වුවමනා වුණේ.

ක්ෂේත්‍රයෙම අයටද ඔය වුවමනාව තිබ්බේ..?

ක්ෂේත්‍රයේ අය තමයි ඒ දේ කළේ. හැබැයි ඒ වගේ මිනිස්සු මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන අය නෙවෙයි. මොකද අනෙක් අයට නින්දා අපහාස කිරීම නෙවෙයි කලාකරුවාගේ යුතුකම.

ඒ වගේ පුද්ගලයෝ කලාකරුවා කියන නමටත් කැළලක්. මමයි චතුරිකායි හොඳ නිර්මාණවලට දායකවෙන්න කිසිම අකැමැත්තක් නැහැ.

පවුල් ආරවුල් මත ඒ කටකතා පතුරුවන්න ඇතිද..?

සමහරවිට එහෙම වෙන්න පුළුවන්. අපි අවංකව ජීවත් වෙනවා. හිත ඇතුළේ එකක් තියාගෙන එළියට එකක් පෙන්නනවාවත් ගෙදර ගිනි තියාගෙන එළියට හිනාවෙනවාවත් නෙවෙයි. අපි හරිම නිදහසේ ජීවත් වෙනවා. සමහරුන්ට ඒවා දරාගන්න බැරි වෙන්නත් පුළුවන්.

සමහරු කියනවා ගයාන්ට හැමෝම එක්ක සුහදව වැඩ කරන්න බෑ. එක පිරිසක් එක්ක විතරයි ගයාන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ඇත්තද ඒ කතාව..?

මෙහෙමයි මට බොරුව, වංචාව පෙන්නන්න බෑ. බොරු කරන අයට බොරුව තේරෙන බව මම මූණට කියනවා. බොරු කරන අය මට මුහුණ දෙන්න බයයි. මම කාවවත් බොරුවට වර්ණනා කරන්න යන්නේ නැහැ. කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කොත් මම ඒක කියනවා. ඒක සමහරුන්ට මදි පුංචිකමක් විදියට පේන්න පුළුවන්. මට වැඩ කරන්න පුළුවන් එක පිරිසක් එක්ක විතරයි කියලා කියනවා ඇත්තේ ඒ අය තමයි.

ගයාන් රඟපාන්න ඕනේ මොන නිළිය එක්කද කියලා තීරණය කරන්න චතුරිකා මැදිහත් වෙනවාද..?

නැහැ. එයා එහෙම නිළියෝ තෝරලා දෙන්නේ නැහැ. මොකද එයා මේ ක්ෂේත්‍රයේ අයත් එක්ක ඕනවට වඩා ළඟත් නැහැ. දුරත් නැහැ. එයා මට තහංචි දාන කෙනෙක් නෙවෙයි.

චතුරිකා ගොඩක් වෙලාවට ගයාන්ගේ පස්සෙන්මයි කියලා බොහෝ අය කියනවා..?

ඔව්. මම ෂූටින් ඉද්දි එයා ෆී්‍ර නම් මාත් එක්ක වැඩවලට එනවා. ලන්ච් එක ගෙනත් දීලා මට කවලා තමයි එයා යන්නේ. ලන්ච් එක ලෑස්ති කරලා නැත්නම් අපි දෙන්නම එළියට ගිහින් ලන්ච් එක ගන්නවා. මම වුණත් මට වැඩ නැති අවස්ථාවලට එයා ඉන්න සෙට් එකට යනවා.

ගයානුයි චතුරිකායි රියැලිටි වැඩසටහන්වලින් කැපිලද..?

රියැලිටි වැඩසටහන්වලින් කැපිලා නම් නැහැ. අපිට ආරාධනා ලැබෙනවා. නමුත් ඒවට සම්බන්ධ වෙන්නේ නෑ කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒවට ගියාම අනෙක් වැඩ පසෙකින් තියන්න වෙනවා. ඒ වගේම රියැලිටි වැඩසටහන්වලදී කලාකරුවා කියන තැනට වඩා ලොකු තරගකාරීත්වයක් පෙන්වන්න සිද්ධ වෙනවා. කලාකරුවා ඉන්න ඕන ප්‍රේක්ෂකයාට යමක් දෙන්න. එහෙම නැතුව ඔවුන්ගෙන් ඉර්ඉ එකක්වත් කලාකරුවා ගන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ.

ඒ කියන්නේ ගයාන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්ම ජීවත් වෙන කෙනෙක්ද..?

මම කරන නිර්මාණ හොඳ විදියට ප්‍රේක්ෂකයාට දිය යුතුයි කියන තැන මම ඉන්නවා. හැබැයි ප්‍රේක්ෂකයාගේ හිතලු අනුව මම පවුල් ජීවිතය ගත කරන්න ඕන, ජීවත්වෙන්න ඕන කියන තැන මම නැහැ.

ප්‍රේක්ෂකයන් කලාකරුවන්ට දක්වන ප්‍රතිචාර ගැන ගයාන් අසතුටින්ද ඉන්නේ..?

ඔව්. ඉස්සර වගේ නෙවෙයි අද නළු නිළියෝ ඕන තරම් ඉන්නවා. සමහර ප්‍රේක්ෂකයෝ හිතන්නේ අපිත් එක්ක හිනාවෙන කතාකරන එකත් මදි පුංචිකමක් කියලා. දවසක් කෙනෙක් මට ඇවිත් කියනවා, අපේ සර්වන්ට් නම් ඔයාලා ඉන්න කතා බලනවා කියලා. අද කලාකාරයෙක්ගේ ඡායාරූපයක් ෆේස්බුක්වල දැම්මත් අසභ්‍ය වචනවලින් ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි වගකිව යුතු බලධාරීන් පවා කලාකරුවන්ව ගණන් ගන්නේ නෑ. ඉන්දියාවෙන් කවුරු හරි නළුවෙක් ආවම දෙකට නැමිලා ආචාර කරන බලධාරීන් අපේ කලාකාරයෙක්ට, මුණ ගැහෙන්න වෙලාවක් වෙන්කරන්නත් මැළිවෙනවා. මේ රටේ කලාකාරයෙක් වීම ගැන ඇත්තටම කනගාටුයි.

මේ තත්ත්වය එක්ක කලාව අතහැරලා ව්‍යාපාරයක් කරගෙන පැත්තකට වෙන්න හිතිලා නැද්ද..?

අපි දැනටමත් ව්‍යාපාරයක් කරනවා. හැබැයි අවුරුදු පහළොවකට වඩා අපි නියැළුණු කලාව අතහරින්න හිත දෙන්නේ නෑ. කලාව අතහරිනවා කියන්නේ ඇඟෙන් කෑල්ලක් අයින් කරනවා වගේ දෙයක්.

අධ්‍යක්ෂණ කාර්යය අතහැරියද..?

නැහැ. තව මාස තුන හතරකින් අපි නිර්මාණයක් කරනවා. මම කැමැතියි ඒ නිර්මාණයට අධ්‍යක්ෂණයෙන් විතරක් එකතු වෙන්න. මොකද එතකොට මම මේ තාක් කරපු අධ්‍යක්ෂණයන්ටත් වඩා සාර්ථකව ඒ දේ කරන්න පුළුවන්. හැබැයි චතුරිකා කැමැතියි මම ඒ නාට්‍යයේ රඟපානවටත්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්