මේ අත්දැකීම විඳලා නෑ ඒත් විඳින්න කැමැතියි

  👤  3720 readers have read this article !
Published by : MB WEB 2017-07-19 16:37:59

අත්දැකීමක් නොවුණත් සමහර දේවල් ජීවිතයට දැනෙන්න පුළුවන් කියලා හිතුණේ දුක හාදු දෙන රැයේ ගීතය නිසා. පුදුම විදියට මට මේ ගීතය දැනුණා. මෙහි පද රචකයා වුණේ වසන්ත බණ්ඩාර දිසානායක. ගායනය කරන්නේ මම කැමැතිම ගායකයා වන ගුණදාස කපුගේ මහත්මයා. මේ ගීතය මම කැමැතිම ගීතය වුණේ අද ඊයේ නෙවෙයි. මට මතක කාලේ ඉඳලමයි. එය හිතේ තැන්පත් වෙලා තියෙන්නේ.

මෙහි පළමු පද පෙළ තුළ තියෙන්නේම යෞවනයේ හට ගත්ත ප්‍රේමයේ බලාපොරොත්තු කඩවීම තුළ ඇති වන අපේක්‍ෂා භංගත්වය. ආදරයේ හැඟීම් සහ ඒ හැඟීම් නිසා ඇතිවූ සියලු සංවේදනා මේ පද කීපයේ තියෙනවා. 'යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා' කියන පද පේළියේ ලොකු ගැඹුරක් තියෙනවා. ගීතය අහන වාරයක් පාසා මට අලුතෙන් එය සිතීමට පොලඹවනවා.

දුක හාදු දෙනවා කියන්නේ පුදුම දෙයක්. තරහක් නැතිව ආදරයෙන් දුක ඇවිත් හදවත සිඹිනවා. ඒ හදවත පතුලටම කි¼දා බැහැලා ඊළඟට පද රචකයා පරිසරයේ තියෙන සුන්දරත්වය ගළපනවා හරි අපූරුවට. ඒත් ඒ පරිසරයත් තමන්ට එරෙහිව ඉන්න වගක් කියැවෙනවා.

ගහකොළ මල් පිපිලා සුවඳව තියෙනවා. ඇළ ‍ෙදාළ නිල් පාටට ගලා යනවා. හැබැයි මට පමණක් මිරිඟුවක් පෙන්නලා මාව රවට්ටලා. ඇය එහෙම වුණා කියලා ඔහු බනින්නේ නෑ. නෝක්කාඩු කියන්නෙත් නෑ. ඔහු විසින්ම පිළිගන්නවා මමයි ඒ මිරිඟුවට රැවටුණේ කියලා. ඒ තියෙන සරල මනුස්සකම එහි ගිලිලා තියෙනවා. කිසිම තැනක වෛරයක් නෑ.

මම ආසම පද පෙළ මට මුණ ගැහෙන්නේ ඊට පස්සේ. ඒක හරි වෙනස්. ඇත්තම කිව්වොත් හරිම නැවුම්. 'නන්නාඳුනන ලෙසේ මඟතොට යළිත් හමුවෙලා' කියන පද පේළිය මගේ හදවත හිරවන්න තරම් මට සමීපයි. බලන්න ඒ දෙන්න තරහ වුණාම මඟතොටදි හමුවෙනවා. ඔහු හිතනවා අපිව කවුරුවත් දන්නෙත් නෑ. අපි දෙන්නට දෙන්නා දන්නෙත් නෑ. නොදන්නවා වගේ පාරක යනවා. මෙපමණ කලක් එකට හිටිය දෙන්නෙක් මෙහෙම යෑම පුදුමයි. ජීවිතෙත් පුදුම අත්දැකීමක්. එහිදී තමයි මට හිතෙන්නේ ආදරයත් හරියටම ජීවිතය වගේ කියලා.

සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් මේ විදියට විඳගන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. මේක ගීතයකට ලියවෙච්ච අසාමාන්‍ය අදහසක්. මොකද මේකේ දාලා ගියා කියලා කියන්නේ නෑ. අඳෝනාවක් නෑ. ගියාට පසු මුහුණ දෙන දෙය තමයි විචාරයට ලක් කරන්නේ. මම මෙවැනි දෙයක් පෞද්ගලිකව විඳලා නෑ. මෙහි ජීවිතය ලස්සනට ප්‍රශ්න කරනවා. නොදන්නවා වගේ මඟ තොටේදි මුණ ගැහෙනවා. ඒ වගේම 'මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා' කියන්නේ නැතිව අපි යමු දුරස් වෙලා කියනවා.

ඔහුම විශ්වාස කරනවා තමන්ගේ හිතේ තියෙන බරම ඇයටත් ඇති කියලා. අන්න ඒ නිසා තමයි කියන්නේ අපි යමු දුරස් වෙලා කියලා. ඔහුට මෙන් ඇයටත් ඔවුනොවුන්ව දැනෙනවා. නමුත් නැවත ළං නොවෙන්න ගිවිස ගන්නවා. එය මහා පුදුමාකාර බැඳීමක්. ඒ බර දරාගෙන එහෙම යන්න පුළුවන්ද සැනසිල්ලේ. ඒක සංසාරගත වෙන්වීමක්. බැඳීමක් නෙවෙයි. මට ඒ වගේ පෞද්ගලික අත්දැකීමක් නෑ තමයි.

ඒත් ඒ අත්දැකීම මට අමතක කරන්න බෑ. හිත ළඟ නතර වෙලා මුමුනනවා. කලාව ඇතුළේ පෞද්ගලික හැම දෙයක්ම වෙන්න ඕන නෑ මං හිතන්නේ. එහෙම වෙන්නෙත් නෑ. නමුත් ඒ කලාවේ පෙන්වන අත්දැකීමක් නිර්මාණකරුවට පොදු අත්දැකීමක් කරන්න පුළුවන්. ඒක තමන්ට නොවුණත් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න තියෙනවා නම් කියලා එය රසවිඳින රසවතාට දැනෙනවා නම් ඒක තමයි එහි විශිෂ්ට ගුණය. ඒ වගේම මේ ගීතය තුළ තිබෙන අදහස මටත් විඳින්න ලැබෙනවා නම් කියලා මට හිතෙනවා.

සටහන: නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්