තරු හැඩ වෙන හැටි

  👤  2103 readers have read this article !
Published by : MB WEB 2017-07-14 16:16:49

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන '28' චිත්‍රපටය ඔබ කවුරුත් නරඹා ඇතිවාට සැකයක් නැහැ. 28 චිත්‍රපටයේ සුද්දිගේ චරිතයෙන් ප්‍රේක්‍ෂකයා හමුවට එන සේමිණි ඉද්දමල්ගොඩ තවමත් තරුණයි, සුන්දරයි රංගන ක්‍ෂේත්‍රයේ සාර්ථකම රංගන ශිල්පිනියන් අතර සිටින ඇගේ ලස්සන වීමේ රහස් ගැන ඇගෙන්ම අහන්න අපි සිතුවා.

හැම ගැහැනියක්ම බැලිය යුතුයි

ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදුන් 28 චිත්‍රපටය මේ දිනවල තිරගත වනවා. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු නිසා අපි සියලු දෙනාම කාර්යබහුලයි. මම හිතන්නේ මේ චිත්‍රපටය සෑම ගැහැනු කෙනෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් කියලයි.

නැඟිටපු ගමන් වතුර වීදුරුවක්

උදෙන්ම නැගිටපු ගමන් වතුර බොන එක මගේ විශේෂ පුරුද්දක්. මම මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් මගෙන් නිවසේදී ඉටුවිය යුතු වගකීම්වලට මම මුල්තැන දෙනවා.

ඉඩ ලැබුණු ගමන් ව්‍යායාම

ශරීර සෞඛ්‍යය සඳහා මම ව්‍යායාමවලට මුල්තැන දෙනවා. සමහර අවස්ථාවලදී වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණාම නම් ව්‍යායාම අතහැරෙනවා. නමුත් ඉඩ ලැබෙන වෙලාවට ව්‍යායාම කරන්න අමතක කරන්නේ නැහැ.

උදේට බත් ඕනමය

මම උදේට බත් අනිවාර්යයෙන්ම කනවා. මට කැකුළු බත් ටිකක් කන්න ඕන. හැබැයි මම කන්නේ ටිකයි. ගොඩක් බත් කන්නේ නැහැ.

එළවළු වැඩිපුර

මම වැඩිපුර හොඳ එළවළු වර්ග කන කෙනෙක්. අනෙක් අය ප්‍රතික්‍ෂේප කරන කරවිල, පතෝල, වැටකොලු වගේ එළවළු වර්ග මම ආසාවෙන් කෑමට ගන්නවා.

එළවළු පලා වලට වැඩි කැමැත්ත

දවල්ටත් මම බත් ටිකක් විතර ආහාරයට ගන්නවා. ඒ වෙලාවටත් එළවළු, මස් සහ මාළු වැඩියෙන් බත් අඩුවෙන් තමයි කන්නේ. කොළ වර්ග ආහාරයට ගන්නත් මම හරිම කැමැතියි.

පැණි රස නම් මඟ හරිනවා ආසම නෑ

පොඩි කාලේ ඉඳලම මම පැණිරස කෑම වර්ග කන්න ආස නැහැ. ඒ නිසා පැණි රස ආහාර වර්ග මට හුඟක් මඟ ඇරෙනවා. විශේෂයෙන් චොකලට්, ටොෆි, අයිස්ක්‍රීම් වගේ හුඟක් පැණිරස අඩංගු කෑම මට කැවෙන්නේ නැහැ.

ගමේ කෑමවලට ආසයි

ගමේ හැදෙන කොස් පොලොස්, දෙල් වගේ කෑම වර්ගවලට මම ආසයි. ඒ වගේම බතල, අඟුණකොළ වගේ කෑම කන්න කැමැතියි. කොහොමත් කෘත්‍රිම ආහාරවලට වඩා මේ කෑම වර්ග අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට හුඟක් වැදගත් වෙනවා.

දේශීය පලතුරුවලට කැමැතියි

අතුරුපස ආහාරයට ගන්නා විට වගේම අතිරේක ආහාර වර්ග ගන්නා විටත් මම පලතුරුවලට මුල්තැන දෙනවා. පිටරටින් ගෙන්වන පලතුරුවලට වඩා මම මුල්තැන දෙන්නේ දේශීය පලතුරුවලට. ගස්ලබු, අන්නාසි, වෙරළු, රඹුටන් ඒ අතරින් ප්‍රධානයි.

පිරිසුදුකම වැදගත්

රංගන ශිල්පිනියක් විදියට නොවෙයි සාමාන්‍ය ගැහැනු කෙනෙක් විදිහට මම මගේ පෞද්ගලික පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙනවා. විවේකය මොනතරම් අඩුවුණත් පෞද්ගලික පිරිසිදුකම ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වන්නේ ඒ නිසයි.

රූපලාවණ්‍ය සත්කාර

මට අවශ්‍යයි කියලා හිතුණම මම සැලෝන් එකට යනවා. නමුත් සාමාන්‍ය කාන්තාවකට නම් මේ හුඟක් ප්‍රතිකාර ගෙදර දී කරගන්න පුළුවන්. අපිත් ඉස්සර ගෙදරදී මේ සත්කාර කළා. දැන් සැලෝන් යනවා.

ගෙදරදීම මෙනික්‍යු - පෙඩික්‍යු

දෑත් සහ දෙපාවල සුන්දරත්වය පවත්වාගෙන යන්න මෙනික්‍යු පෙඩික්‍යු කරනවා. මේ සත්කාරය ගෙදරදීත් කරගන්න පුළුවන්. උයලා පිහලා ඉවරවෙලා අත් සෝදලා නිය කපලා පිරිසිදු කරලා දෙහි ලෙල්ලකින් අතුල්ලලා සෝදලා වියළිව මෘදුව තියාගන්න.

මේක්- අප් රඟපාද්දී විතරයි

මම මේක් අප් කරන්නේ හරිම අඩුවෙන්. රංගනයේදී පමණක් මම මේක්-අප් කරනවා. මගේ ළඟ තියෙන්නේ අයි ලයිනර් එකක් ලිප් ලයිනර් එකක් සහ ලිප් බ්‍රෂ් එකක් වගේ සුළු දේවල් ටිකක් විතරයි.

ප්‍රමිතිය හා සන්නාමය වැදගත්

රඟපාන අවස්ථාවලදී මේක්අප් කරන විට ර්චජ කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවාට කැමැතියි. එයට අමතරව මගේ සුළු මේක්-අප් බඩු ටික මම මිලට ගන්නේ ච්ඪධප කියන බ්‍රෑන්ඩ් එකෙන්.

කොණ්ඩෙට විශේෂ තෙල් සාත්තුවක්

මගේ කොණ්ඩය කොහොමත් අඩුයි. ඒ නිසා කොණ්ඩයට සුවිශේෂී තෙල් සත්කාර කරනවා. දැන් වයසත් එක්ක කොණ්ඩයට හානිවන ප්‍රමාණය වැඩි නිසා විටමින් වර්ග ගන්නත් අමතක කරන්නේ නැහැ.

ඇස්වලට මුල්තැන

මම ඇස් කාච පාවිච්චි කරන්නේ නැහැ. මට ඒක දාගෙන ඉන්න අමාරුයි. ඒ වගේම මම මාස 6කට වතාවක් විතර වගේ මගේ ඇස්දෙක පරීක්‍ෂා කරගන්නවා. ඒ වගේම අවුරුද්දකට දෙපාරක් වගේ දත් පරීක්‍ෂා කරගන්නවා.

ඇඟට ගැළපෙන ඇඳුම්

මගේ ඇඟේ හැඩයට ගැළපෙන කෙට්ටු බව පේන ඇඳුම් තෝරනවා. දීප්තිමත් බවින් අඩු ඇඳුම්වලට මම කැමැතියි. ටිකක් ජනප්‍රිය සන්නාමවල ඇඳුම් මම අඳිනවා. නමුත් ඒ සඳහා ගැළපෙන විදියට මගේ ආර්ථික මට්ටම ස්ථාවරව පවත්වාගෙන යන්නත් මම සැලකිලිමත් වෙනවා.

සුදු වෙන්න ගාන ක්‍රීම් අනතුරුදායකයි

අද වෙද්දී හුඟක් අය සුදු වෙන්න උත්සාහ කරනවා. ඒ සඳහා ඒ අය නොකරන දෙයක් නැහැ. කෘත්‍රිම ආලේපන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු එන්නත් පවා පාවිච්චි කරනවා. නමුත් ඒවා හරිම භයානකයි. එමඟින් දරුණු පිළිකා පවා ඇති වෙනවා.

උපතින්ම ලැබුණු හැමදේටම කැමැතියි

මම උපතින්ම හුඟක් සුදු කෙනෙක්. ඉතිං මම ඒ ලස්සන බාහිරින් හා අභ්‍යන්තරව රැකගන්නවා. නමුත් කළු සහ තලඑළලු කියන්නේ ලස්සන වර්ණ දෙකක්. ඒ වර්ණ දෙක ලැබුණු අය සුදු වෙන්න කෘත්‍රිම දේ කරන්න අවශ්‍ය නැහැ.

හිත පිරිසුදු නැතිනම් වැඩක් නෑ

අපි බාහිරින් ආලේපන ගල්වලා මේක්- අප් කරලා මොන තරම් ලස්සන වෙන්න හිතුවත් සිතින් අපිරිසුදු නම් වැඩක් නෑ. ඒ නිසා මුලින්ම හිත පිරිසුදු කරගන්න. ඉඩ ලැබෙන වේලාවට පින් දහම් කරන්න. දන් දෙන්න. එවිට ඒ ලස්සන මුහුණෙන් පේනවා.

හංසි ආටිගල
ඡායා - සංජීව චින්තක කහදගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්