එක්දින තරගාවලියේ භාවිතා නොකරපු තුරුම්පු දෙකක් ටෙස්ට් තරගයේදී තියෙනවා

  👤  1855 readers have read this article !
Published by : MB WEB 2017-07-14 08:57:34

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (14දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර, 2001 වසරේ දෙසැම්බර් හා ජනවාරි මාසවලදී මෙරටදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු දෙරට අතර ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 16කට පසුව වීමද විශේෂත්වයකි.

අද ආරම්භ වන තරගය දෙරට අතර පැවැත්වෙන 18 වැනි ටෙස්ට් තරගය වන අතර මෙයට පෙර පැවැති කිසිදු ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් ශ්‍රී ලංකාව පරාජය වී නැත.

ඒ අනුව 2001 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති එම ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් ඉනිමකින් හා අනෙක් තරගය ලකුණු 315කින් ශ්‍රී ලංකාව ජයගෙන තිබීමද කැපී පෙනුණ අතර, මෙම ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 4කට පසුව වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් දෙරට අතර අද ආරම්භ වන ටෙස්ට් තරගය පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නව නායක දිනේෂ් චන්දිමාල් පැවැසුවේ සිම්බාබ්වේ සමඟ අද ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා පළපුරුදු තුරුම්පු දෙකක් තමන් සතුව ඇති බවය.

"පසුගිය පුහුණු සැසි කිහිපයකදීම අපි හොඳින් පුහුණුවේ යෙදුණා. හෙට (අද 14දා) පැවැත්වෙන තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න හා උපුල් තරංග ක්‍රීඩා කරාවි. අපි හෙට (අද 14) තරගය සඳහා පිතිකරුවන් 7 දෙනකු හා පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගැනීමට තීරණය කර ඇති නිසා තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්න කණ්ඩායමට එක්වේවි.

ඒ වගේම රංගන හේරත් හා දිල්රුවන් පෙරේරා කියන්නේ අපට ඉන්න පළපුරුදුම තුරුම්පු දෙක. ඒ දෙන්නාත් කණ්ඩායමේ ඉන්න නිසා අපි හොඳ මානසිකත්වයෙන් ඉන්නවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නව නායකයා පසුගිය කාලයේදී සිදුවූ තමන් පෙන්වූ දුර්වල පිතිහරඹය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"පන්දුවට පහරදීමේදී පසුගිය කාලයේදී යම් දුර්වලතාවක් පෙන්නුවා කියලා මම පිළිගන්නවා. පසුගිය කාලයේදී ඒ දුර්වලතාවයෙන් මිදෙන්න හුඟක් මහන්සි වුණා" යැයිද කීය.

කෙසේ වෙතත් අද තරගය ප්‍රධාන පෙළේ දඟ පන්දු යවන්නන් දෙදෙනකු හා ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නන් දෙදෙනකු යොදවා ගැනීමට ඉඩ ඇති බැවින් සුරංග ලක්මාල් හා ළහිරු කුමාර, දඟ පන්දු යවන්නන් ලෙස රංගන හා දිල්රුවන් පෙරේරා යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්