කලිසම් ගලවා දීමට නියෝග දුන් අය සොයන පරීක්‍ෂණය අද

  👤  2466 readers have read this article !
Published by : MB WEB 2017-07-13 09:38:34

සිරිනාම රාජපක්‍ෂ

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරග තුන නිමාවත් සමඟ එම ක්‍රීඩාංගණයේ සේවය කළ කම්කරුවන්ගේ කලිසම් ගලවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව අද රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්‍ෂක කළමනාකරු කේ.එම්.එල්. සරත්චන්ද්‍ර යන මහත්වරුන් කටයුතු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එසේ ක්‍රීඩාංගණ සේවකයන්ගේ කලිසම් ගැලවීමට පියවර ගත් සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයන් භාරව නිලධාරියා ලෙස කටයුතු කළ කිංස්ලි ජාගොඩ මහතාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගත්තේය.

තවද ඔහුට එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග දෙන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් බවට දැන් හෙළිවී ඇති අතර, ඔවුන්ටද එසේ නියෝග දෙන්නට සිදුවී ඇත්තේ ඊටත් ඉහළ නිලධාරියකුගෙන් ආ බලපෑමක් අනුව බවද පැවැසේ.

කෙසේ වෙතත් සූරියවැව ක්‍රීඩාංගණය භාරව ක්‍රීඩාංගණ කළමනාකරු ලෙස අනුර වීරසිංහ මහතා කටයුතු කරන අතර, ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරග දෙකෙන් පසුවද මේ ආකාරයෙන්ම ක්‍රීඩාංගණ සේවකයන්ට ලබා දී තිබූ ඇඳුම් නැවත ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙසේ අසාධාරණයට ලක්වූ අයට වන්දි මුදලක් ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඡායාරූප - හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්