ඔබත් අනෙකාගේ සාක්කුවෙද දැනගන්න 'ඒකා සාක්කුවේ' බලන්න

  👤  429 readers have read this article !
Published by : MB WEB 2017-07-08 15:22:21

වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් සිය දක්ෂතාවෙන් පෝෂණය කළ ප්‍රවීණ රංගධර සරත් කොතලාවලගේ "ඒකා සාක්කුවේ" වේදිකා නාට්‍ය ඔහුගේ පස් වැනි වේදිකා නාට්‍ය නිර්මාණයයි.

මේ නාට්‍යයේ තිර පිටපතත්, අධ්‍යක්ෂණයත් ද්විත්වයම ඔහුගේයි. පසුගිය වසරේ මුල සිටම වේදිකාව මත දිගහැරුණු "ඒකා සාක්කුවේ" අද (09)දා සවස 6.30ට නාඩා ආයතනයේදීත් (ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) ජුලි 15 වැනිදා ටවර් හෝල් රඟහලේදිත් සවස 3.30ට සහ 6.30ට වේදිකාගත කිරීමට නියමිතයි.

ගැඹුරු උපහාසයක් සහිතව හාස්‍ය මුසු රංගනයෙන් යුතු මේ නාට්‍ය, මේ වන විට දර්ශන වාර හැටකට ආසන්න ප්‍රමාණයක් වේදිකා ගත කර තිබෙනවා.

"ඒකා සාක්කුවේ" නාට්‍යයේ නිෂ්පාදනය කුමුදු නිෂාන්තගෙන් වන අතර සංගීතය විමල්ජිත් ‍ෙදාඹගහවත්තගෙනි. වේදිකා නාට්‍ය කලාව ඇසුරු කරගෙන සමාජයේ විවිධ පැතිකඩ ගෙනහැර දැක්වීමට සමත් වූ සරත් කොතලාවලයන්ගේ 'නරි බුරති', "ජයසිරිට පිස්සු" වගේම 'ඒකා සාක්කුවේ' යන නාට්‍ය නිර්මාණ ත්‍රිත්වයම මේ වෙනකොට වේදිකාගත වෙනවා.

"ඒකා සාක්කුවේ" නාට්‍යයේ ප්‍රධාන චරිත රංගනයට දායක වන්නේ පුබුදු චතුරංග සහ සාරංග දිසාසේකරයි. මේ ප්‍රධාන චරිත දෙක ගලාගෙන යන අතරවාරයේදි සරත් කොතලාවල, ජනක රණසිංහ, චින්තක පීරිස්, සරත් චන්ද්‍රසිරි යන අනෙක් නළුවන් හතර දෙනා චරිත ‍ෙදාළහකින් වේදිකාවට පිවිසෙනවා. මේ නාට්‍යයේ රංගන ශිල්පිනියන් නැහැ. නමුත් කාන්තා චරිත මේ නාට්‍යයේ සිටිනවා. මේ චරිත නිරූපණය කරන්නෙත් නාට්‍යයේ රංගන ශිල්පීන්මයි. රංගන ලීලාවන්, හරි අපූරු ලෙස වේදිකාවට ගේන්න උත්සාහ දරන "ඒකා සාක්කුවේ" වේදිකා නාට්‍ය කලාවට පෙරළියක් එක් කරන බව විශ්වාසයි.

"ඒකා සාක්කුවේ" කියන්නේම හරි අපූරු නමක්. මේ අපූරු නම නාට්‍යයට යොදපු කාරණාව වගේම නාට්‍යයේ දිගහැරෙන කතාවේ සරල අදහස සම්බන්ධයෙන් සරත් කොතලාවල මහතා දැරුවේ මෙවැනි අදහසක්.

"වර්තමානයේ ජීවත්වන හැමෝම ජීවත්වන්නේ අනෙකාගේ සාක්කුව ඇතුළේ. ඒ කියන්නේ සියයට අනූපහක්ම මිනිස්සු ක්‍රියා කරන්නේ අනෙක් උදවිය වෙනුවෙන්. එතැනදී බොරුව, වංචාව, නොහොඳ වගේම අවැඩ යොදා ගන්නවා. තම තමන්ගේ අභිමතාර්ථ වෙනුවෙන් අපි වැඩ කරනවා කියලා හිතුවට ඇත්තටම වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. මිනිස්සු හිතුවට, තමන් වෙනුවෙන් තමයි මේ සේරම කරන්නේ කියලා, යථාර්ථවාදීව බැලුවම හැමදේම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අනුන් වෙනුවෙන්. මේ කාරණාව මුදල කියන සාධකය පදනම් කරගත්තු දෙයක්".

මෙකී තත්ත්වය ප්‍රශ්න කිරීමට තමයි "ඒකා සාක්කුවේ" බිහිවෙන්නේ. සමාජය අභ්‍යන්තරයේ ඇති ගැඹුරු කාරණාවක් නළු නිළි පිරිසක් යොදාගෙන වේදිකාවක් මත ප්‍රතිනිර්මාණය කරන "ඒකා සාක්කුවේ" නැරැඹුවොත් ඔබත් අනෙකා වෙනුවෙන් කෙතරම් වෙහෙසෙනවාද කියන දේ තේරුම් ගන්න හැකිවේවි.

නලිණිකා ලක්ෂාණි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්