මහේෂි මාස හයකට නිවාඩු ගන්නේ ඇයි?

  👤  4709 readers have read this article !
Published by : MB WEB 2017-07-02 16:12:12

මහේෂි මෝදර වැල්ලයි, පැහැසරා එක්කයි කාර්යබහුලයි වගේ?

ඔව්. ඔය නාට්‍යය දෙකේ වැඩත් එක්ක තමයි මේ දවස්වල එකතු වෙලා ඉන්නේ. නාළිකා දෙකක එකම වෙලාවේ තමයි මේ නාට්‍ය දෙක විකාශය වෙන්නේ.

මේ දවස්වල පුබුදු සහ විශ්වගෙන් මහේෂිට තිරයේදී හොඳම පෙම්වතා වෙන්නේ කවුද?

රංගනයේදී මේ දෙන්නම මට හොඳ සහයෝගයක් දෙනවා. පුබුදු සහ විශ්ව විතරක් නෙවෙයි මගේ පෙම්වතුන් වෙලා හිටපු හැමෝම ගොඩක් හොඳයි.

ළඟදීම මහේෂි 'පැහැසරා' ටෙලි නාට්‍යයෙන් අතුරුදන් වෙන්න යනවා කියන්නේ ඇත්තද?

මම මෙතෙක් කර කර හිටපු කිසිම නිර්මාණයක් අමාරුවේ දාන වැඩක් කරලා නැහැ. මෝදර වැල්ල ටෙලි නාට්‍යයත් ඉදිරියේදී ඉවර වෙයි. ඒ නාට්‍යයේ කොටස් ගාණ ඉවර වුණු නිසා. 'පැහැසරා' නාට්‍ය මම නිසා නතර වෙන්නේ නැහැ. මම ඒකෙන් අතුරුදන් වෙන්නෙත් නැහැ. කොටස් ගාණ ඉවර වුණාට පස්සේ නාට්‍ය නතර වෙයි. පැහැසරා ටෙලි නාට්‍යයෙන් අතුරුදන් වෙන්න කිසිම හේතුවක් මට නැහැ.

මහේෂි රංගනයෙන් නිවාඩුවක් ගන්න ලෑස්ති වෙනවා කියන්නෙත් බොරුවක්ද?

අපේ රහස් දේවල් කාටවත් කියන්න නරකයි. ඒත් මම මුලින්ම හදගැස්මට මේ දේ කියන්නම්. මම දැන් කරමින් ඉන්න ටෙලි නාට්‍ය දෙක ඉවර වුණාට පස්සේ මම මාස හයක විතර නිවාඩුවක් ගන්න කැමැතියි.

ඒ මාස හයේ නිවාඩුව ගන්නේ විශේෂ කාරණයක් නිසා කියලත් සමහරු කියන්න අරගෙන?

මෙහෙමයි මම ටෙලි නාට්‍යවලට කලින් ආවේ සිනමාවට. මේ ක්‍ෂේත්‍රයටම කැප කිරීමක් කරන්න තමයි ඒ මාස හයේ නිවාඩුව ගන්නෙ. මාස හයේ නිවාඩුවෙන් පස්සේ මහේෂි මධුශංකා කියන කෙනාව වෙනස් විදියකට දකින්න ලැබෙයි. මාස හයක් නිවාඩු ගන්නවා කියන එකට තමයි සමහරු ඉතිං එක එක කතා හදලා තියෙන්නෙත්.

ඒ මොන වගේ වෙනසක්ද?

මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක්, හතක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත මම මහේෂි කියන කෙනාව උපරිම තැනකට ගෙනාවා. ඉදිරියේදී මාව චිත්‍රපට ක්‍ෂේත්‍රය වගේ තැනකින් ආයෙත් දකින්න ලැබෙයි. ඒ වෙනස ආයෙත් කරන්න මට විවේක කාලයක් ඕන වෙනවා. මම හැම අවුරුද්දෙම හිතනවා එක අවුරුද්දක මාස හයක් අරගෙන මගේ පෞද්ගලික ජීවිතේ දේවල් ටිකක් කරගන්නවා කියලා. හැබැයි මම හරි තණ්හායි. හොඳ ස්ක්‍රිප්ට් එකක් අතට ආවම මගේ තීරණය වෙනස් වෙනවා.

මහේෂි වෙනසක් කරනවා කියලා රංගනයෙන් අෑත් වෙන එකක් නෑ නේද?

රංගනය කියන්නේ උතුම් වෘත්තියක්. මම කිසිම දවසක මේ ක්‍ෂේත්‍රයෙන් සමුගන්න නම් අදහසක් නෑ.

කාලයක් මහේෂි වැඩි වැඩියෙන් පේන්න හිටියා. දැන් ඒ විදියට වැඩිපුර දකින්න නැත්තේ වැඩ අඩු නිසාද? නැත්නම් මහේෂ් අඩුවෙන් වැඩ කරන නිසාද?

වැඩවල නම් අඩුවක් නැහැ. වැඩ නම් ඕන තරම් ලැබෙනවා. මේ වෙනකොට තව අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ අපි කොච්චර වැඩ කළත් ඒකට කිසි ඇගයීමක් ලැබෙන්නේ නැති එක. කොච්චර වැඩ කළත් ප්‍රතිඵලයක් නැති වුණු අවස්ථා තියෙනවා. ඒකයි වැඩිපුර වැඩ නොකරන්නේ. ටෙලි නාට්‍ය දෙකක් විතර තෝරගෙන කරලත් මම මාසෙම ගෙදර නැහැ.

අහිමි වෙන දේවල් ගැන කලකිරීමකින්ද කතා කරන්නේ?

මට ලැබෙන පිළිගැනීමේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සම්මාන උළෙල ගත්තොත් නම් මගේ නම උඩින්ම තියෙනවා. සම්මාන උළෙල ළං වෙද්දී මගේ නම නිර්දේශිත නාමයන්වලත් නැහැ. ඒ වගේ දේවල් ගැන නම් කලකිරීම් තියෙනවා.

සම්මාන උළෙල ළං වෙද්දී මහේෂිගේ නම තිබ්බ තැන්වලින් අතුරුදන් වෙන්නේ කොහොමද?

ඒක ගොඩක් අය මගෙන් අහනවා. ඒක ඉතිං වෙනවා. ඒකට උත්තර දෙන්න මටත් තේරෙන්නේ නැහැ. කොහොම හරි එහෙම දේවල් තමයි සිද්ධ වෙන්නේ.

තාමත් මහේෂිගෙන් සම්මාන ගිලිහෙනවා නේද?

සම්මාන ගැන අවධානය යොමු කරන කාලේ ගෙවිලා ගිහින්. මුතුපලස, චායා ටෙලි නාට්‍ය කරන කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ටෙලි නාට්‍ය බලපු කාලයක්. දැන් වුනත් මම පාරට බැස්සම තාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. සම්මානවලට වඩා මට ඒ දේ වටිනවා.

නිළියක් වුණු නිසා මහේෂිගේ නිදහස අඩු වෙලාද?

ඔව්. නිළියක් වුණාම නිදහස අඩු වෙනවා. තැනකට ගිහින් කතා කරද්දී, හැසිරෙද්දී හැමෝම අවධානෙන් ඉන්නේ. තමන්ගේ ජීවිතේ පෞද්ගලික ප්‍රශ්නයක් තිබ්බත් ඒවා අමතක කරලා කතාබහ කරන්න වෙනවා. නළු නිළියන්ට කටකතා හරි ඉක්මනට හැදෙනවනේ. ඒ නිසා අපි කරන කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මම නම් මේ ආපු ගමනේදී නම කැතවෙන දෙයක් කරගෙන නැහැ.

වරදක් නොකර ඉන්න උත්සාහ කළාට වරදට පොලඹවා ගන්න උත්සාහ කරන අය කලා ක්‍ෂේත්‍රයේ ඉන්නවා කියලා සමහරු කියනවා. මහේෂිට ඒ වගේ අය මුණගැහිලා තියෙනවද?

මුලින්ම ක්‍ෂේත්‍රයට එද්දී ඕනම කෙනෙක්ට ඔය වගේ ආරාධනා ලැබෙන්න පුළුවන්. ඒ වගේ ආරාධනා ලැබුණට තමන් තීරණය කරන්න ඕන තමන් යන ගමන ගැන. රංගන ක්‍ෂේත්‍රයේ තියෙන සමහර දේවල් මාධ්‍ය ඔස්සේ කියන්න බැරි දේවල්. මට නම් ඒ වගේ අත්දැකීම් නැහැ. මම ක්‍ෂේත්‍රයට එද්දී සමහර වැඩ මට මඟහැරුණා. තමන් තීරණය කරන්න ඕන ඉස්සරහට යන්න තමන්ගේ ශ්‍රමය කැප කරනවද? නැත්නම් ජීවිතය කැප කරනවද කියලා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්