මගේ ලේ කිරි නොවුණේ ඇයි කියලා දැනුණ වාර අනන්තයි

  👤  3297 readers have read this article !
Published by : MB WEB 2017-06-27 16:07:52

අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුණේ
කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුණේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ

පද රචනය - මාලනී ජයරත්න
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

මාලනී ජයරත්න රචනා කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළ ටී. එම්. ජයරත්න ගායනා කරන 'අම්මා සඳකි මම ඒ ලොව' කියන ගීතය තමයි මම කැමැතිම ගීතය ලෙස එකවිටම මට මතකයට නැඟෙන්නේ.

මේ ගීතය මට විශේෂ වෙනවා වගේම මේ ගීතයටත් වෙනම විශේෂත්වයක් තියෙනවා. ඒ දේ බොහෝ විචාරකයන් පවා කියල තියෙනවා. මොකද බොහෝම කලාතුරකින් තමයි පිය සෙනෙහස ගැන ගී ලියැවෙන්නේ. දැන් අපිට අහන්න ලැබෙන ගොඩක් ගීත පමණක් නොවෙයි සාහිත්‍ය තුළත් අම්මා ගැන තමයි විශාල වශයෙන් සඳහන්ව තියෙන්නේ. හැබැයි පිය සෙනෙහස ගැන සඳහන් වෙනවා අඩුයි.

මමත් තාත්තා කෙනෙක්. ඉතින් අපේ ආදරය ගැන දරුවන්ට දැනෙනව අඩුයි. විශේෂයෙන් ආසියානු කලාපයේ සම්ප්‍රදාය අනුව පියවරු විවෘතව තමන්ගේ ආදරය දරුවන්ට ප්‍රකාශ කරන්නේ නෑ.

පිරිමින්ගේ හැඟීම් ප්‍රකාශය බොහෝම අඩුයි. වධ වේදනාවන් නෙවෙයි සතුටක් වුණත් පැතිරිලා යන විදියට ප්‍රකාශ කරන්නේ නෑ.

නමුත් කාන්තා පක්ෂය බොහොම හැඟීම්බරයි. වේදනාවකදී හඬා වැලපෙනවා. කෑ ගහනවා. හැබැයි පිරිමි එහෙම නෙවෙයි.

මෙන්න මේ හැඟීම් සමුදායම මේ ගීතය ඇතුළේ කතා කරනවා.

තාත්තාගේ ආදරයත් මහමෙරක් වගේ. හිතේ තිබුණත් ප්‍රකාශ වන අවස්ථා අඩු නිසා මං හිතනවා නිර්මානකරණයේදී පවා ඒ පිය ගුණ සමර ගැන කතා බහ වෙනවා අඩුයි. එහෙමයි කියල පිය සෙනෙහස වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑ. මට මේ සියල්ල හරියටම දැනෙනවා. මමත් තාත්තෙක් නිසා.

මේ ගීතයේ ඉතාමත් වටින තැන් කීපයක් තියෙනවා. ඒවා මට පුදුම විදියට දැනෙන තැන්. ගීතය ඇහෙද්දි මම හරි සංවේදී වෙනවා. කොයිතරම් දැඩි හදවතක් තිබ්බත් ඇස්වලට කඳුළු එනවා. එහෙම දැනෙන තැනක් තමයි "පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ" කියන පද පේළිය.

ඒ පද තුළ තියෙන්නේ පියාගේ සැඟවුණු සෙනෙහසේ තරම. තාත්තාට හිතෙනව ඇයි මගේ ලේ කිරි නොවෙන්නේ කියලා. මටත් එහෙම දැනුණු වාර අනන්තයි.

"මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ" කියන පද පේළිය තුළ තියන්නේ අම්මා දරුවෝ රැක බලාගත්තට මේ සියලු බර තියෙන්නේ පියාගේ හිතේ කියලා. ඉතින් උඹලාට මං මහ මෙරක් තරම් ආදරෙයි කියල කියන්නේ. මේ ගීතය මගේ ගීතයක් වගේ දැනෙන්නේ.

පියවරුන්ගේ සෙනෙහස පවුලකට කාන්දු වෙනවා දැනෙනව අඩු වුණාට මේ පවුලම රැකීමේ කාර්යය ඔහු අති විශිෂ්ට ලෙස කරනවා. එවිට ආදරය හිතේ හංගගෙන වැඩ කරන්න වෙනවා. මොකද ජීවත්වෙලා ඉන්න එපැයි ආදරය කරන්න.

පියා පාන්දර එළියට ගිහින් හේනක, කුඹුරක, ගොඩනැඟිල්ලක රැකියාවක් කරල ගොම්මන් කළුවරේ ගෙදර එන්නේ. ඒ තාත්තා පවුලේ සියල්ලටම ආදරය රැගෙන එන්න තමයි ඒ යන්නේ. ඉතින් මේ පියාගේ මෙහෙවර මහ මෙරක්. හැබැයි බේබදු පියවරුත් ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි මේ කියන්නේ මේ තමයි සැබෑම පියවරු, ගීතයට ලඝු කරන්න බෑ මේ සෙනෙහස.

ඒත් මේ ගීතයේ ඒ සෙනෙහස ගැබ් වෙලා තියෙනවා. මම වුණත් අද වයසට ගිහින් ඉන්නේ කුටුම්බය ආරක්ෂා කරලා. හැබැයි දවසක දරුවන්ට පියාපත් ලැබුණම ඔවුන් ඔවුන්ගේ ලෝක කරා පියඹලා යනවා. අපිට දුක දැනෙනවා දරා ගන්න බැරි විදියට. නමුත් අපිට අඬන්න බෑ. මොකද දරුවන්ට පියාගේ ඇ¾ඩීම දරාගන්න බැරි වෙන නිසා. ඉතින් මං හිතන්නේ ටී. එම්. ජයරත්නගේ ගායනය තුළ තියෙන ඒ සංවේදී ස්වරයත් ගේපද රචනයත් පුදුමාකාර විදියට හිතට දැනෙනවා. නැවතත් මතක් වන්නේ මට අර පද පෙළමයි.

"පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ" ඉතින් ඉතාම සංවේදීව පූර්ණ අවධානය යොමු කරලා මේ පද පේළිය අහද්දී මගේ ඇසට කඳුළක් එනවා. ඒ පදය මගේ හිතේ තිබුණ මගේම වචනයක්ද කියලත් මට අහන්න හිතෙනවා.

මම රවීන්ද්‍ර රන්දෙණිය
සටහන නුවන් හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්