ඉන්දියාව සමඟ ක්‍රිකට් සංග්‍රාමයෙන් පාකිස්තානයට ජය

  👤  2072 readers have read this article !
Published by : MB WEB 2017-06-19 09:48:12

විචිත්‍ර වීරසිංහ _ එංගලන්තයේ ඕවල් පිටියේ සිට..

එංගලන්තයේදී පැවැති අටවැනි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජය කළ පාකිස්තානය ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් කිරුළ පළමු වරට ඊයේ (18දා) හිමිකර ගත්තේය.

එංගලන්තයේ ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති මෙම තරගයේ පාකිස්තානය නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4කට ලැබූ ලකුණු 338ට පිළිතුරු සැපයූ ඉන්දියාවට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 158ක් පමණි.

තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ඉන්දීය පිල ලකුණු 158කට සීමා කළ පාකිස්තානු පන්දු යවන්නන් අතරින් මොහොමඩ් අමීර් ලකුණු 16කට කඩුලු 3ක් හා හසන් අලි ලකුණු 19කට කඩුලු 3ක් ලබාගනිමින් පාකිස්තානු ජයග්‍රහණය පහසු කිරීමට දායක වූ ප්‍රධාන පන්දු යවන්නන් බවට පත්විය.

පාකිස්තානයෙන් එල්ල වූ ලකුණු 339ක ඉලක්කය පසු කිරීමට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරුවන් අතරින් මෙම තරගාවලියේ සිටම ලකුණු අතර සිටි රෝහිත් ෂර්මා පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී දවාගත් අමීර් ඉන්දියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සැරසුණේය. එය සඵල කරමින් අමීර් යැවූ දෙවැනි පන්දු වාරයේදී මෙන්ම ඉන්දීය ඉනිමේ තෙවැනි පන්දුවාරයේදී ඉන්දීය නායකයා ලකුණු 5කට දැවීයෑමත් සමඟම පීඩනය ඉන්දියාව දෙසට එල්ල විය.

කඩුලු 2කට ලකුණු 6ක්ව තිබූ ඉන්දීය ඉනිම ගොඩගැනීමට පැමිණි යුවරාජ් සිං හා ආරම්භක පිතිකරු දවාන් ඉන්දීය ඉනිම ලකුණු 33 දක්වා රැගෙන ආවද දවාන් ලකුණු 21කට දැවී යෑමත් සමඟ එම උත්සාහයද ව්‍යර්ථ වී ගියේය.

ඉන්පසු යුවරාජ් සිං ලකුණු 22කටත්, දෝනි ලකුණු 4කටත්, යාදව් ලකුණු 9කටත් දැවී යෑමත් සමඟ ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 6කට 72ක් ලෙස කඩා වැටිණි. එහෙත් ඉන් අනතුරුව පාන්ඩියා අසරණව තිබූ ඉන්දීය ඉනිමට ජීවයක් එක් කරමින් පාකිස්තානු පන්දු යවන්නන්ට එක දිගට පහර දෙමින් පැමිණ සිටි 40,000කට ආසන්න නරඹන්නන් මවිතයට පත් කළේය.

පන්දු 32කදී ලකුණු 50ක් ලබාගත් පාන්ඩියා අවසානයේදී දුවද්දී දැවී යෑමකට හසුවන විට පන්දු 43කට මුහුණ දී හතරේ පහර 4ක් හා දැවැන්ත හයේ පහර 6ක්ද එල්ල කර තිබූ අතර, ඔහු ජඩේජා සමඟින් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් එක්කිරීමද විශේෂත්වයකි.

පන්ඩියාගේ දැවීයෑමෙන් අනතුරුව ජඩේජා ලකුණු 15කටත්, අෂ්වින් ලකුණු එකකටත්, බුම්රා එක් ලකුණකටත් ක්‍රීඩාගාරයට හරවා යැවූ පාකිස්තානුවන් පළමු වරට ශූරයන්ගේ කුසලානය තම රටට ගෙන ගියේය.

පන්දු 106කට මුහුණ දී හතරේ පහර 12ක් හා හයේ පහර තුනක් සමඟින් ලකුණ 114ක් ලබාගත් ෆකාර් සමාන්ට තරගයේ වීරයා සම්මානයත්, හසන් අලිට තරගාවලියේ වීරයා සම්මානයත් හිමිවූ අතර, රන් පිත්තේ හා රන් පන්දුවේ අයිතිය පිළිවෙළින් හිමි වූයේ ෂිකර් දවාන්ට හා හසන් අලිටය.

තරගාවලියට පෙර ලොව එක්දින ශේ්‍රණිගත කිරීම්හි අටවැනි ස්ථානයේ පසුවූ පාකිස්තානය මෙම ජයග්‍රහණයත් සමඟින් ශේ්‍රණිගත කිරීම්හි 6වැනි ස්ථානයට පැමිණ ඇති අතර, තරගාවලියට පෙර 6 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබීමද විශේෂත්වයකි.

ඉන්දියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙපොළ වූ ෆකාර් සමාන් හා අසාර් අලීට පළමු පන්දුවාරයේදී කිසිදු ලකුණක් ලබාගැනීමට නොහැකි වූ අතර, දෙවැනි පන්දුවාරයේ ලබාගත්තේ ලකුණු 3ක් පමණි. සිවුවැනි පන්දුවාරය නිමාවන විටත් ඉතාමත් ඉවසීමෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ආරම්භක පිතිකරු දෙපොළ ඉන් අනතුරුව ප්‍රවේගකාරී බවට අවතීර්ණ විය.

පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 7ක්ව තිබියදී සමාන් ලකුණු 3ක් ලබා සිටියදී බුම්රාගේ පන්දුවක් හමුවේ දෝනිට උඩපන්දුවක් ලබා දී ක්‍රීඩාගාරයට යෑමට සූදානම් වුවද එම පන්දුව නිපන්දුවක් බවට පසුව සනාථ වීමේ වාසනාව ලැබූ සමාන් පාකිස්තානු ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට තල්ලු කළේය. පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 100 සීමාව පන්දුවාර 18කදී වාර්තා වූ අතර, එයට තවත් ලකුණු 28ක් එකතු වෙද්දී ලකුණු 59ක් ලබා සිටි අලි දුවද්දී දැවීයෑමකට හසුවන විට පාකිස්තානුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක අගනා වටිනා සබඳතාවක් එක්කර තිබිණි.

පන්දු 71කදී වාර්තා වූ අසාර් අලිගේ ඉනිමට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් ඇතුළත්ව තිබූ අතර, එය ඔහුගේ එක්දින දිවියේ 12 වැනි අර්ධ ශතකය බවටද පත්විය. අලි දැවී ගියද ඉන් අනතුරුව සමාන්ට එකතු වූ බාබර් අසාම් පන්දුවාර 33ක් වන විට පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 200 සීමාව වෙත රැගෙන ගියේය. එම අවස්ථාවේදී පාකිස්තානු ඉනිමේ ගැලවුම්කාරයා බවට පත්ව සිටි සමාන් ලකුණු 114කට පාන්ඩියාගේ පන්දුවක් හමුවේ ජඩේජා උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් දැවී යන විට හතරේ පහර 12ක් හා හයේ පහර 3කින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබිණි. පන්දු 106කින් සමන්විත වූ සමාන්ගේ මෙම ශතකය ඔහුගේ එක්දින දිවියේ පළමු ශතකය බවට පත්ව තිබූ අතර, එම ශතකය ඔහුගේ සිවුවැනි එක්දින ඉනිමේදී වාර්තාවීමද කැපී පෙනිණි.

සමාන්ගේ දැවී යෑමෙන් අනතුරුව උසස්වීමක් ලබා පැමිණි සොයිබ් මලික්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් බුවනේෂ්වර් කුමාර් විසින් ලකුණු 12ක් ලබා සිටි මලික් ක්‍රීඩාගාරයට බලා හරවා යවන විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 247ක් විය. අසාම්ට එකතු වූ මොහොමඩ් හෆීස් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ ගනිමින් සිටියදී අසාම්ගේ දැවී යෑමත් සමඟ ලකුණු වේගය මඳක් අඩු විය.

අනතුරුව හෆීස්ට එකතු වූ ඉමාඩ් වසීම් වේගයෙන් ලකුණු රැස්කරමින් ලකුණු 330 සීමාවෙන් ඔබ්බට පාකිස්තානය රැගෙන ගියේය. පන්දු 37කට මුහුණ දී හතරේ පහර 4ක් හා හයේ පහර තුනක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබාගැනීමට හෆීස් සමත්වෙද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් අමාඩ් වසීම් නොදැවී ලකුණු 25ක් රැස් කළේය. ලකුණු 267දී සිවුවැනි කඩුල්ල පාකිස්තානයට අහිමිවුවද පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 71ක සබඳතාවක් එක්කිරීමටද හසීස් හා වසීම් සමත්ව තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්