කුල භේදය ඔඩු දුවපු යාපනයේ පිළිකාවට සිංහල ලේ දුන්න රණවිරු මෙහෙයුම

  👤  2005 readers have read this article !
Published by : MB WEB 2017-06-19 15:23:45

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "ගම්පෙරළියේ" මාතර හාමිනේ කතිරිනාට මෙහෙම කියයි 'උන්ට කවුද හිර දෙන්නේ'.

පියල්ට නන්දා දෙන්නට මාතර හාමිනේ අකැමැති වන්නේ පියල් 'අඩුකුලේ' හින්දාය. ඔය කියන්නේ 40 දශකයේය. මේ ගෙවෙන්නේ අඟහරු ලෝකයේ ඉඩම් අරගෙන පදිංචි වෙන්නට සිහින දකින දශකයේය. එහෙත් තාමත් 'උන්ට කවුද හිර දෙන්නේ' අහන මාතර හාමිනේලා විරල නැත.

පිරිසක් ඉදිරිපිට ඔබට කවුරුන් හෝ ඔබේ සම්පූර්ණ නම අමතා කතා කරයි නම් සමහරවිට ඔබ සතුටු වනු ඇත. එහෙත් හැමවිටම හැමෝට එය එසේ නොවන බවට අත්දැකීම්ද ඔබට ඇත. මක්නිසාද යත් වාසගම එකිනෙකාට එක් කරන්නේ එක එක විදිහේ 'තැන්'ය.

එනයින් ගත්කල අපි තාමත් මානසිකව ඉන්නේ ගල් යුගය සමයේය. ශිෂ්ට සමාජයෙන් දුරීභූත විය යුතු හණමිටි අදහස් වගාඩම්බරයෙන් නඩත්තු කිරීමේ ආදීනව සමාජයට ඉතිරි කරන්නේ පසුගාමී බවක් සහ වරදකාරී බවක් පමණි.

කුලය නමැති කුප්‍රකට සංකල්පයද ශිෂ්ට සමාජය විසින් අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත හල යුත්තක් වුවද තාමත් එය ජීවිත විලාසිතාවේ නොවෙනස් එකක් සේ සමාජගතව තිබේ. එහි අහිතකර තත්ත්වය ඉස්මතු වන්නක් ඉකුත්දා යාපනයෙන් වාර්තා විය.

කුල ප්‍රශ්නය නිසා යාපනයේ ලේ හිඟයක් මේ වාර්තා වූ ප්‍රවෘත්තියය. ඒ අසන සැණින් හිතට එන්නේ 'මේ ජීවත් වන්නේ හයවන සියවසේද?' කියන එකය. නැත. මේ ජීවත් වන්නේ විසි එක්වන සියවසේ "වර්චූවල්" ලෝකයේය. හැබැයි, සමහර සිතුවිලි තාමත් 6 වැනි සියවසේය.

අවුරුදු තිහක් තිස්සේ පත්තු වූ වෙඩිවල හිස් පතරොම් කොපු තාමත් උතුරේ තැන් තැන්වල තිබේ. විනය ඇති නැති අත්වල රැඳි අවිවලින් මිදුණු උණ්ඩවල වෙඩි බෙහෙත් සුවඳ තාමත් වියැකී නොගිය ගානය.

එහෙත්, ආයාසයෙන් ඇහැරෙන කොළපාට තුරුවැල් එකතු කරන්නේ මිනිසුන් හුස්ම ගන්නා ලස්සනය. සීරු මාරුවට ජීවිතය ඇහිඳ ගන්නා මිනිස්සු අට අවුරුද්දක සිට මහ පොළව හුරු කර ගනිමින් සිටී. එහෙත් , අතිශය අවාසනාවන්ත තත්ත්වය නම්, යුද්ධ සමයේ යටපත්ව තිබූ පිළිලයක් සෙමින් සෙමින් හිස ඔසවමින් ජන ජීවිත සහමුලින්ම දෙදරවාලන්නට මඟ පාදමින් සිටීමය. යාපනේ රෝහලේ ලේ නැති වන්නේ එකී පිළිලය නිසාය.

"කුලහේදේ ආයෙත් මතු වෙලා. ඒ නිසා කවුරුවත් ලේ දෙන්නේ නෑ. මාරාන්තික වුණත් අඩු කුලේ අයගේ ලේ අනික් අය ගන්නෙත් නෑ. එයාලා සිංහල ලේ ඉල්ලනවා. ඒත් දෙමළ අඩු කුලේ අයගේ ලේ ගන්නේ නෑ."

අම්පාරේ සිට යාපනේ ප්‍රාථමිකයකට දුෂ්කර පත්වීම් ලැබ උගන්වන ගුරරුවරයෙක් වන සේනක එහෙම කීවේය. කාලයාගේ වෙනස්කම් මත වැඩ වසම් ක්‍රමය මියැදෙමින් ධනවාදී අර්ථ ක්‍රමය සමාජයම ගොදුරුකොට ගත්තද වැඩවසම් කුල ක්‍රමය තාමත් එහෙමමය. මෙවැනි අවස්ථාවල පිහිටට එන්නේ ආරක්ෂක හමුදාවය.

කුල ප්‍රශ්නයට මුල්වී යාපන අර්ධද්වීපයේ සිටින දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ රෝහල්වල ලේ බැංකුවල ඇතිවූ ලේ හිඟය උග්‍ර ගැටලුවක් විය. රෝගීන්ගේ ජීවිත තිබුණේ මරණය අද්දරය.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධානීන් අන්ත අසරණ විය. ඔවුන් කළේ වහාම යුද හමුදාවේ සහාය ඉල්ලා සිටීමය. පොසොන් පොහෝ දින කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බස් රථවල නැඟී ගිය සෙබළු දෙසීයක් ලේ පරිත්‍යාග කළහ.

'යාපනේ කොහොමත් අනතුරු වැඩියි. මෙහෙ තමයි ලංකාවේ අවිධිමත්ම රියැදුරෝ ඉන්නේ. රෝඩ් රූල්ස් හරිම අඩුවෙන් තමයි පිළිපදින්නේ. අතුරු පාරකින් ඇවිත් වාහනේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පාරට දානවා. අනිවාර්යයෙන්ම හැමදාම ටවුමේ එක්සිඩන්ට් එකක් ෂුවර්'.
යාපනේ හිතවතකු කීවේ එහෙමය.

උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල පේදුරුතුඩුව, තෙලිප්පලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවත් හමුදාව කියයි.

'මිනිස්සු දන්නවා අපි එයාලට උදවු කරන බව. ඒ විතරක් නෙවේ එයාල විශ්වාස කරනවා අපෙන් එයාලට ආරක්ෂාවක් තියෙන බව'.

එහෙම කීවේ හමුදාවේ නිලධාරියෙකි. ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ඉස්මතුව නැතත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය ජීවිත සමඟ කෙතරම් වියරු අරගලයක යෙදේදැයි කියා හැඟෙන්නේ මෙවැනි සිදුවීම් නිසාය.

ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස මෙම කුලය නමැති සාධකය මෙරට තුළ පැළපැදියම්ව ඇත. එය තුරන් කර දමන්නට තාමත් නොහැකිව ඇත. උතුරේ සේම දකුණේත් එය එහෙමමය. එහෙත් උතුරේ තරම් උග්‍ර ලෙස දකින්නට නැත.

"අප විශ්වාස කරනුයේ කුල ක්‍රමය අසල්වැසි ඉන්දියාවෙන් අපට දායාද කරන ලද්දක් ලෙසය. එහෙත් ඉන්දීය කුල ක්‍රමය පැනනැඟී ඇත්තේ ආගමික මූලයන්ගෙන් වන අතර අවාසනාවට ලංකාවෙහි කුල ක්‍රමයට පදනම් වී ඇත්තේ රැකියාවෙහි ස්වභාවය මතය.

ජවිපෙ හා එල්ටීටීඊයේ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි සිංහල හා දෙමළ සමාජයේ පවත්නා කුල ප්‍රශ්නය බලපෑවේය. මෙම ව්‍යාපාර දෙකෙහිම ඔළුව සමන්විත වූයේ කරාව කුලයෙන් වුවද කඳ සමන්විත වූයේ පීඩිත කුලවලටද වැඩි තැනක් ලැබෙන ආකාරයට සකස් වූ මිශ්‍ර කුල සංයුතියකිනි. මෙම ව්‍යාපාර දෙකම ඔවුන්ගේ සටනට අවශ්‍ය පාද සෙබළුන් වැඩි කොට ලබාගත්තේ පීඩිත කුලවලිනි."

(වික්ටර් අයිවන් - සොක්කන් ලොක්කන් වූ වගයි)

යාපනයේ කුල සාධකයේ තරම තමලිනී ලියූ 'තියුණු අසිපතක සෙවණ යට, කෘතියෙන්ද දිග හැරේ. යාපනයේ ඉන්න පහළම කුලය පංචමර් කුලය ලෙස හැඳින්වේ. එම කුලයද කොටස් පහකට බෙදා තිබේ. එවක එල්ටීටීඊ සංවිධානයේ සොල්දාදුවන් විදියට බොහෝ විට කටයුතු කර තිබුණේ පංචම කුලයේ අයය. ප්‍රභාකරන් කරයියර් කුලයේ වන අතර ඔහු විවාහව සිටියේ වෙල්ලාල නමැති ඉහළම යැයි සම්මත කුලයේ කතක් සමඟය.

ඒ සමඟම ඉහළ පහළ භේදයකින් තොරව ආවාහ විවාහ සිදු කරන්නට එල්ටීටීඊය උපදෙස් දී ඇත. දැන් යුද්ධය අවසන් ය. එහෙත්, කුල සාධකය වේගයෙන් යළිත් හිස ඔසවමින් තිබේ.

"දැන් මෙහේ පුදුම විදිහට දික්කසාද වීම් තියෙනවා. යුද්දේ කාලේ යටපත් වෙච්ච කුල සාධකය දැන් ආයෙත් හිස ඔසවලා."

යුද්ධයෙන් අවතැන් වුණ අයගෙන් බොහෝමයක් අද වන විට නැවත පදිංචිකොට ඇති අතර සමහරු අනාථ කඳවුරුවලම ජීවත් වෙමින් සිටියහ. ඒ යටින් තිබූ හේතුවක් වූයේ කුල ප්‍රශ්නයය.

බොහෝ විට යාපනයේ ඉඩම් හිමි වෙල්ලාල වගේ ඉහළ කුලවල අයට වන අතර ඒ අය තමන්ගේ ඉඩම් පහළ කුලවල අයට විකුණන්නේවත් නැත. එමෙන්ම ඔවුන්ගේ දරුවන් ඒ ප්‍රදේශවල පාසල්වලට ඇතුළත් කර ගන්නේද නැත. ඒ ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් වැඩි පිරිසක් ඉහළ කුලවල අය වන අතර පහළ කුලවල අයට වන්දනාමාන කරන්න පවා නිදහසක් නැත.

බොහෝ විට හමුදාව මේ තත්ත්වයන් අවම කරවීමට උත්සාහ කරන අතර එය සීරුවෙන් කළ යුත්තක් බව හමුදාව වටහාගෙන තිබේ.

මේ වනවිට හමුදාව හා එහි ජනයා අතර පෙරට වඩා කිට්ටු සම්බන්ධයක් පවතී. නිවෙසක වහලයක් කැඩී ගියද ඔවුන් ඒ බව කියන්නේ හමුදාවටය. ජන ජීවිතයේ බොහෝ කටයුතුවලට හමුදාව සුහදශීලීව සමීප වීම සිදුවේ.

හමුදාවේ මැදිහත් වීමෙන් බොහෝ සුබසාධන සිදු කෙරේ. නිවාස 225 ක් හදන ව්‍යාපෘතියකට මේ වනවිට මුලපුරා තිබේ.

"ගිය පෝයට මෙහේ පොසොන් කලාපයක් කළා. ඒක දවස් 5 ක් තිබ්බ. දන්සලට විතරක් එක දවසට දහඅට දාහක් ආවා. වැඩේ ඉවර වෙනකොට පනස්දාහක් ඇවිත්."
හමුදාව කියන්නේ මිනිස්සු ඒ තරමටම හමුදාවට කිට්ටු බවය. එහි පැවැති භක්ති ගීත වැඩසටහනට එක්ව සිටියේ යාපනය නාවක්කුලි විදුහලේ දරුවන්ය.

"අපි ඒ මිනිස්සු තේරුම් ගන්න ඕන. අපි ඉස්සරහට මනුස්සයෙක් ඇවිත් අත් බැඳගෙන හිටියොත් අපි හිතන්නේ, ඒ ඉන්නේ පාර්ට් එකට කියලා. ඒත් එයාලා කියන්නේ, එහෙම ඉන්නේ පක්ෂපාතීකමට කියලා. ඒ දේවල් පවා අපි තේරුම් ගන්න ඕනෑ. ලී පෙට්ටියක මොනාහරි දාගෙන යද්දී අපි මොනවද තියෙන්නේ ඇහුවම එයාලා කියන්නේ 'මුට්ට' කියලා. ඉතින් අපි යකඩ කූරකින් අනිනවා. ඉතිං පෙට්ටිය යටින් ගලන්නේ බිත්තර සාරු. එයාලා මුට්ට කීවට, තියෙන්නේ බිත්තර."

වඩා වැදගත් වන්නේ අනෙකා තේරුම් ගැනීමය. එසේ නොවනතාක් අනෙකා අපේ සතුරාය. මිනිස්සු මිනිස්සු ලෙස නොදකිනතාක් කල් ජීවිත තියෙන්නේ අඳුරේය.
"නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝති බ්‍රාහ්මණෝ... කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

යනුවෙන් බුදු බණේ කීවද තාමත් ඒවා සමහරුන් එහෙමම පිළිගන්නේ නැත.

මිනිස්සු දිනෙන් දින ශිෂ්ට වෙති. එහෙත් අවාසනාවකට සමහරක් දේ තුළින් අශිෂ්ට වෙති. කුලය වැනි සාධක එහෙම අශිෂ්ට දේ බව මිනිසුන් තේරුම් ගන්නදා ලොව මීට වඩා අසිරිමත් වනු ඇත.

පිංවතුන් කැල ඇන්ද සළු පිළි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලි කුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබළනා

රත්න ශ්‍රී එහෙම ලියා තිබේ. අවාසනාවට මිනිස්සු තාමත් ඉන්නේ කිලිකුණු තියාගෙනය.

රංජිත් කුමාර සමරකෝන්


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්