අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

  👤  1483 readers have read this article !
Published by : MB WEB 2017-06-16 13:55:02

කටාර් රාජ්‍යය F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිල දී ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඩොලර් බිලියන 12ක වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි.

එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානි ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවර දී හමුවීමෙන් අනතුරුව මෙම ගනුදෙනුව පිළිබඳව අවසන් තීරණයට එළැඹුණි.

එය සිදු වූයේ, කටාරය "ඉතා ඉහල මට්ටමින්" ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුවය.

කටාර් බලධාරීහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කරති.

අසල්වාසී ගල්ෆ් රටවල් කිහිපයක් ද එක් වී කටාරය සමඟ සබඳතා අත්හරිනු ලැබූවේ, කටාර් රාජ්‍යය අන්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දීම සහ ඉරානය සමඟ පවතින සබඳතා මගින් කලාපය අස්ථාවර කෙරෙන බවට චෝදනා කරමිනි.

මැදපෙරදිග පවතින විශාලතම ඇමරිකානු ගුවන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යය තුළය.

එම කඳවුර තුළ සොල්දාදුවන් 10,000ක් පමණ ස්ථාන ගත කර ඇති අතර සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව, එක්සත් ජනපදයේ නායකත්වය යටතේ සිදු කෙරෙන හමුදා මෙහෙයුම් දියත් කෙරෙන්නේ එහි සිටය.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට ජනාධිපති ට්‍රම්ප් විසින් කටාරයට චෝදනා කරනු ලැබූ නමුත් මීට දින කිහිපයකට පෙර, "කලාපීය ආරක්‍ෂාව සඳහා කටාර් රාජ්‍යයේ චිරස්ථායී කැපවීම" එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අගය කිරීමට ලක් විය.

"එක්සත් ජනපදයේ ආයතන අප සමඟ සිටින බවත් අප ඒ පිළිබඳව කිසිදා අවිශ්වාස නොකළ බවත්" ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුම මගින් සනාථ වේයැයි කටාරයේ බලධරයෙකු පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

"අපේ හමුදාවන් සහෝදරයෝ වගේ. කටාර් රාජ්‍යයට පවතින ඇමරිකානු සහයෝගය මුල් බැසගත් දෙයක්. දේශපාලන වෙනස්වීම් මත එය වෙනස් වන්නේ නැහැ." යනුවෙන් එම බලධරයා පවසා තිබේ.

එක්සත් ජනපදයෙන් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගත් බව කටාරයේ ආරක්ෂක අමාත්‍යංශ බලධරයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

මෙම ගනුදෙනුව සිදු වීමට දින කිහිපයකට පෙර ඩොලර් බිලියන 100කට අධික වටිනාකමකින් යුත් යුද අවි ලබාදීමට එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ගිවිසුම් ගත විය.

(BBC)


 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්