බංග්ලාදේශයත් පැරැදූ ඉන්දියාව අවසන් සටනට ලන්ඩන් යයි

  👤  2118 readers have read this article !
Published by : MB WEB 2017-06-16 11:03:04

විචිත්‍ර වීරසිංහ _ එංගලන්තයේ සිට..

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළ ඉන්දියාව ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියක සිවුවැනි වරටත් අවසන් මහා තරගයක් සඳහා ඊයේ (15දා) සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් පිටියේදී පැවැති මෙම තරගයේ බංග්ලාදේශය ලබාගත් ලකුණු 264ට පිළිතුරු සැපයූ ඉන්දියාවට එක් කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර යෑමට අවශ්‍ය වූයේ පන්දුවාර 40යි එක් පන්දුවක් පමණි.

ලකුණු 265ක ඉලක්කයක් පසුපස යෑමේදී ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා හා ෂිකර් දවාන් පළමු කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 87ක සබඳතාවය ජයග්‍රහණය සොයා යන ගමනේදී ඉන්දියාවට බෙහෙවින් වැදගත් වී තිබිණි.

ඒ අනුව ඉන්දියානු පළමු කඩුල්ල ලෙස දවාන් ලකුණු 46කට දැවී ගිය අතර, ඔහු මෙම තරගාවලියේදී තරග 4කට සහභාගි වී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක්ද සහිතව ලකුණු 317ක් ලබමින් තරගාවලියේ රන් පිත්ත හිමිකරගැනීමට ආසන්නතම පිතිකරුවා බවට පත්ව සිටී.

දවාන්ගේ දැවී යෑමෙන් අනතුරුව ෂර්මාට එක්වූ ඉන්දියානු නායක කෝලි බංග්ලාදේශයට හිසරදයක් බවට පත්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 178ක නොබිඳුණු සබඳතාවක් එක්කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

පන්දු 129කට මුහුණ දී හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 123ක් ලබාගත් රෝහිත් ෂර්මා තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, එය ඔහුගේ එක්දින දිවියේ 11 වැනි ශතකය බවටද පත්විය. ෂර්මාට අනගි සහායක් ලබා දුන් ඉන්දීය නායකයා පන්දු 78කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබාගත්තේය.

මේ අනුව ජයග්‍රාහී ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් තරගය ලබන 18දා ලන්ඩන්හි - කෙනින්ටන් ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් අතුරින් සෞම්‍ය සාකර් ලකුණු ලබාගැනීමට පෙරත්, ඉන්පසු පැමිණි සබීර් රහමන් ලකුණු 19කටත් දවාගනිමින් බුවනේෂ්වර් කුමාර් විසින් බංග්ලාදේශය මෙල්ල කිරීමට සමත්වුවද තමීම් ඉක්බාල්ට එකතු වූ මුෂ්ෆිකර් රහීම් කඩුලු 2කට ලකුණු 31ක් වූ බංග්ලාදේශ ලකුණු පුවරු 154 දක්වා රැගෙන ආවේය.

ඒ අනුව මුළු ලකුණු 154දී තමීම් ඉක්බාල් ලකුණු 70කට දැවී යන විට පන්දු 82කට මුහුණ දී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක්ද එල්ල කර තිබිණි.

ඉක්බාල් හා රහීම් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ එම ලකුණු 123ක සබඳතාව බංග්ලාදේශ ඉනිමේ හොඳම සබඳතාව බවට පත්වූ අතර, රහීම්ද බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 61ක් ලබාගත්තේය. එම දෙදෙනාට අමතරව කිසිදු බංග්ලාදේශ පිතිකරුවකුට සාර්ථක වීමට ඉන්දියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර, යම් තරමකට සාර්ථක වූ බංග්ලාදේශ නායක මොටාසා නොදැවී ලකුණු 30ක් ලබාගත්තේය.

කෙදර් ජදව්, බුම්රා හා කුමාර් පිළිවෙළින් කඩුලු 2 බැගින් ලබාගනිමින් බංග්ලාදේශ ඉනිම පාලනය කළහ.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය (පන්දුවාර 50කදී කඩුලු 7කට) 264 (තමීම් ඉක්බාල් 70, මුෂ්ෆිකර් රහීම් 61, මෂ්රෆ් මොටාසා නොදැවී 30, කෙදර් ජදව් 2/22, බුම්රා 2/39, බුවනේෂ්වර් කුමාර් 2/53)
ඉන්දියාව (පන්දුවාර 40.1කදී එක් කඩුල්ලකට) 265 (රෝහිත් ෂර්මා නොදැවී 123, විරාත් කෝලි නොදැවී 96, ෂිකර් දවාන් 46, මෂ්රෆ් මොටාසා 1/29)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්