කුටුම්බයේ රස මතු කරන ගීය මා හිත බැඳ ගත්තා

  👤  2931 readers have read this article !
Published by : MB WEB 2017-06-15 16:02:32

තාත්තා වුණත් මා බත සරි       කරන

අම්මා නුඹයි මගෙ දරු දැරියන්   රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්

රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්

ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්

උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ

අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ

අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස

නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ

ගායනය -පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේව

පද රචනය - සුනිල් ආරියරත්න

සංගීතය - රෝහණ වීරසිංහ

සුනිල් ආරියරත්නයන් විසින් රචිත අමරදේවයන්ගේ හ¾ඩින් ඇසෙන "තාත්තා වුණත් මා බත සරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින" ගේය පද රචනය ඉතාමත්ම කන්කලු මිහිරි සරල බවක් පෙනුණත් ගැඹුරක් ගැබ් වී තිබෙන මහා දැවැන්ත මානව අධ්‍යයනයක් විදියට මට පෙනෙන්නේ.

පවුල යන සංකල්පය කවදා කෙලෙස ඇතිවුණාද කියලා නිශ්චිතව සොයා ගන්න බැරි වුණත් සමාජය පවතින්නේ පවුල කියන ඒකකය මත. මීට එකතුවෙන මහා දැවැන්ත චරිත දෙක තමයි මව සහ පියා කියන්නේ.

ප්‍රේමණීය කුටුම්බය තුළ දරුමල්ලන් හදා වඩාගෙන ඔවුන් යහමඟට යවලා ඔවුන්ව පෝෂණය කර බිරිය සහ සැමියාගේ ආදරයද මේ කුටුම්බය තුළ රක්ෂා කර ජීවිතයේ සුන්දරත්වය විඳින පවුලක අසිරිය මේ ගීතයේ කතාව තුළ මැනවින් ගැබ් වී තිබෙනවා.

එහි ගීතමය ප්‍රකාශනය කරන පණ්ඩිත් අමරදේවයන්ගේ අති සුමධුර අති ප්‍රේමණීය, අතිශය හැඟීම්බර ගායනා විලාසය අපව මන්මත් කරවනවා. මේ කාරණා වගේම රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතය මේ ගීතයට මගේ ආදරය හිමිවන්න මුල් වූ ප්‍රධාන කාරණාවක්.

මේ ගීතයේ පියා, තමන් බත සරිකරන මහා පුද්ගලයා වුණත් ඊට වඩා දැවැන්ත කාර්යභාරයක් බිරිය කරන බවට වූ වටිනාකම ඇයට ලබාදී තිබෙනවා. මේ පුංචි කැදැල්ල තුළ තිබෙන අසිරිමත්භාවය ප්‍රකට කරන්නේ ඊට පසුව යෙදෙන මේ කවි පද පෙළින්.

"මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්"

අද කාලේ සමහරු මැසිවිලි නඟනවා මම බිරියට ආදරය කළා. බිරිය මට ආදරය කළා. හැබැයි දැන් එයා මට ආදරේ නෑ. එයා ආදරේ දරුවන්ට විතරයි කියලා. මෙවැනි තත්ත්වයන්ට මේ ගීතයෙන් දැවැන්ත පණිවුඩයක් එකතු කරනවා. දරුවන් වෙනුවෙන් ආදරය දක්වද්දී මුල් දවසේ දුටුවාටත් වඩා ආදරයක් හිතෙන බව සැමියා පවසනවා. මෙය කෙතරම් නිර්ව්‍යාජ, ළෙන්ගතු භාවිතාවක්ද.

"බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇති නිබඳ"

අතදරු පුතුගෙ මුහුණේ නුඹගේ ගුණ තිබෙනවා කියන දෙයින් අදහස් දක්වන්නේ අනෙක් දරුවන්ගේත් ඒ යහගුණ තිබෙනවා කියන එක. ඒ කියන්නේ ඒ මව අනෙක් දරුවන්ව යහමඟට ගෙනැත් ඉවරයි.

මේ ගීතයේ අන්තිම පද පේළිවලින් මගේ හදවත රිදෙන්න ගත්තා. කෙනකුගේ දෙවැනි මව බිරිය කියලා කියනවා. ඒ කියමන ගේය පද රචනාවේ පසක් කරන්නේ මෙලෙස.

"අම්මා කෙනකු මිස නුඹ මගෙ බිරිය ලෙස
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ"

ඇය ස්වාමියාවත් තුරුලු කරගන්නවා. දරුවන්ට සමාන ආදරයක් ඇය ස්වාමියාටත් ලබා දෙනවා. එය නිර්ව්‍යාජ ප්‍රේමණීය හැඟීම් සමුදායක්. බොහොම ප්‍රේමණීය කුටුම්බයක ලක්ෂණ මේ ගීයෙහි පෙන්නුම් කරනවා. මාතෘත්වය, පීතෘත්වය වැනි සමාජයෙන් අෑත් වී යන සංකල්ප හදවතට කිට්ටු කරන්න මේ ගීතය සමත් වෙනවා.

දරුවන්ව දූෂණය කරන පියවරුන් ගැන ඇහුවම, දරුවව විසි කරලා දාන මවුවරුන් ගැන ඇහුවම, දැක්කම මාතෘත්වය, පිතෘත්වය වැනි සංකල්ප බිඳිලා ගිහින් කියලා දැනෙනවා. නමුත් මේ ගේය පද රචනාව තුළ, ඒ වගේම දැවැන්ත ගායන විලාසය තුළ දැනෙන්නේ සමාජය තුළ තවමත් ප්‍රේමණීය ගෘහ කුටුම්බ තියෙනවා කියලා.
මේ ගීතය ගැන කතා කරද්දී කලීම් ජිබ්රාන් කියන මහා දාර්ශනිකයාගේ වැකියක් කියන්න මම කැමැතියි.

ගැහැනිය,ලෝකය පවත්නා සියල්ලම ඔබ තුළ වන්නේය. ඔබ තුළ පවත්නා සියල්ලම ලෝකය තුළ වන්නේය."

මමත් පෞද්ගලිකව කුටුම්බයට බොහොම ආදරය කරන කෙනෙක්. තිස් වසරක ප්‍රේමණීය සැමරුම් පෙළක් මටත් තියෙනවා. මේ ගීතය ඇහෙද්දී බිරිය වෙනුවෙන් තියෙන හැඟීමට තවත් දෙයක් එකතු වෙනවා. ඒ හැඟීම ඇතුළේ සෙනෙහස, දයාව, ප්‍රේමය, ගෞරවය වගේ එකී මෙකී නොකී දේවල් එකතු වෙනවා.

මේ ගීතයට මම තව තවත් ළෙන්ගතු වෙන්නේ ඒ නිසා. මට මේක ඇහෙන ගීතයක් නෙවෙයි. මේක මට හැමදාමත් අහන්න හිතෙන ගීතයක්. ඒ නිසා මේ ගීතය අහන්න අහන්න ගීතයට තියෙන ළෙන්ගතුකම තවත් වැඩි වෙනවා.

මම ශි්‍රයන්ත මෙන්ඩිස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්