කැච් එකක් අත්හැරියාට මැච් එකක් පරදින්නෙ නැහැ

  👤  2511 readers have read this article !
Published by : MB WEB 2017-06-15 10:29:26

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට ලසිත් මාලිංගද සහභාගි වූ අතර එහිදී ඔහු කියා සිටියේ ලැබුණු ප්‍රතිඵල ගැන තමාට කලකිරීමක් නොමැති බවය. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ක්‍රීඩා කළ විලාසය පිළිබඳව කලකිරීමෙන් සිටින්නේදැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයට එසේ පිළිතුරු දුන් මාලිංග "මමත් ඕන තරම් උඩ පන්දු අතහැරල තියෙනවා. උඩ පන්දුවක් ගිලිහුණා කියන එක තරගයේ පරාජයට හේතුවක් නෙවෙයි.

නමුත් අවාසනාවන්ත වුණත් කණ්ඩායමක් විදියට අපි හොඳට ක්‍රීඩා කළා. සමහර විට මම කඩුලු නොගත්ත නම් කවුරුවත් කියන එකක් නැහැ මම කඩුලු ගත්තෙ නැති නිසා මැච් එක පරාද වුණා කියලා. නමුත් උඩ පන්දුවක් මිස් වුණාම කියනව ඒක නිසා මැච් එක පරාද වුණා කියලා. පුහුණුකරුවන්ගෙන් මොනව ගත්තත් අපි මැද කරන දේවල් තමයි වැදගත් වෙන්නෙ. මම විකට් 5ක් ගත්තාම චම්පක සර් ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ.

එහෙම නොගත්තොත් මට බනිනවා. ඒක තමයි ඇත්ත. ඒවගේම කැච් එකක් මිස් වුණොත් ෆීල්ඩින් කෝච්ට බනිනවා. කැච් එකක් ගත්තොත් හොඳ කියන්නෙ නැහැ. ෆීල්ඩර් කෙනෙක් ගැන කවුරුත් කතාබහට ලක් කරන්නෙ නැහැ. මම බෝල් කරල විකට් එකක් ගත්තොත් මං ගැන කතා කරනවා. කැච් එක ගත්ත කෙනා ගැන කතා කරන්නෙ නැහැ. හැබැයි මිස් වුණොත් එයා ගැන කතා කරනවා. ඒක තමයි අද ක්‍රිකට්වල හැටි. ඒ නිසා බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ මොකක්ද කියල" යනුවෙන් කීය.

කෙසේ වෙතත් මෙවර තමන්ට තරගයක් ජයග්‍රහණය කරවන්න හැකියාවක් නොලැබීම ගැන කනගාටුවට පත්වන බව පැවැසූ මාලිංග තවදුරටත් අදහස් දක්වමින් "අපිට සුපුරුදු තත්ත්වයන් යටතේ නොවුණත් අපේ වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. 2019 ලෝක කුසලානයට මම ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක තේරීම තියෙන්නෙ මගේ අතේ නොවෙයි. ඒ සඳහා මම තෝරා ගත්තොත් ක්‍රීඩා කරනවා" යැයිද පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්