සත්කාරකයන්ට ඇති පීඩනය පාකිස්තානයට අද වාසියක් වෙයිද?

  👤  1798 readers have read this article !
Published by : MB WEB 2017-06-14 11:26:25

විචිත්‍ර වීරසිංහ _එංගලන්තයේ සිට..

2017 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව වටයේ තරගය අද (14දා) කාඩිෆ්හි සොෆියා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ මූලික තරගයකදී පාකිස්තානය විසින් ද. අප්‍රිකාව පරාජය කිරීමත් සමඟ තරගාවලියේ පෙරළියක් කළ පළමු කණ්ඩායම බවට පත්වූ පාකිස්තානය ඉන් අනතුරුව අත්‍යවශ්‍යම තරගයක් වූ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයද ජය ගැනීම හේතුවෙන් යහපත් මානසිකත්වයකින් යුතුව සිටින බව පැහැදිලිය.

විශේෂයෙන්ම ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය සෙසු කණ්ඩායම්වලට අභියෝගයක් කළ හැකි තත්ත්වයක සිටීම හේතුවෙන් අද තරගයේදී එංගලන්ත කණ්ඩායම එයට පිළියමක් සොයා ගන්නවාට සැක නැත. ඒ අනුව පාකිස්තානු නවක පන්දු යවන්නන් වන හසන් අලී, ෆහීම් අෂ්රෆ්, ඉමාඩ් වසීම් වැනි පන්දු යවන්නන් හට එංගලන්ත කණ්ඩායම මුහුණ දී නොමැති බැවින් ඔවුන්ට එංගලන්තයට හොඳ පීඩනයක් ලබාදිය හැකි බවද පෙනේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 34කදී අර්ධ ශතකයක් ලබාගත් පාකිස්තානු නවක ආරම්භක පිතිකරු ෆකාර් ෂමාන් එංගලන්තයට අභියෝගයක් එල්ල කළ හැකි ප්‍රධාන ක්‍රීඩකයා බවට පත්ව ඇති අතර, සෙසු පාකිස්තානු පිතිකරුවන්ද කණ්ඩායම වෙනුවෙන් යමක් කළහොත් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව පාකිස්තානයට උදාවෙයි.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේදීම දැක්වූ තුන් ඉරියව් දක්‍ෂතා අද තරගයේදීත් ඔවුන් පෙන්නුම් කළහොත් පසුගිය වර මෙන්ම මෙවරද අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්ත කණ්ඩායමට හැකි වනු ඇත.

ඔවුන්ගෙ පිතිකරණ බළඇණියේ සිටින ඉයොන් මෝගන්, බෙන් ස්ටොක්ස්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජොස් බට්ලර් හා මොයින් අලී පාකිස්තානයට තර්ජනයක් විය හැකි අතරම, අදිල් රෂීඩ්, මාක් වුඩ්, ජේක් බෝල්, ලයම් ප්ලන්කට්, බෙන් ස්ටොක් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන් පාකිස්තානය දමනය කිරීමට හැකි පන්දු යවන්නන්ය.

මේ අතර පසුගිය 12දා කාඩිෆ්හි පැවැති ශ්‍රී ලංකා-පාකිස්තානු තරගයේදී නියමිත කාලයේදී පන්දුවාර ප්‍රමාණය නොයැවීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායමට දඩ පනවා තිබේ

. ඒ අනුව පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඩ්ට ක්‍රීඩක තරග මුදලින් 20%ක්ද කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට 10%ක දඩයක්ද පැනවීමට අයි.සී.සී. පියවර ගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්