102 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලිය

  👤  2578 readers have read this article !
Published by : MB WEB 2017-06-13 09:53:04

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 102 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව නිශාන්ගන් නඩරාජා දිනා ගනිද්දී අනිකා සෙනෙවිරත්න කාන්තා කේවල ශූරතාව සමඟ ශූරතා තුනක් දිනා ගැනීමට සමත් වූවාය.

එහිදී ජාතික ටෙනිස් ශේ‍ර්ණිගත කිරීම්හි සිවුවන ස්ථානයේ සිටින නිශාන්ගන් නඩරාජා පිරිමි කේවල ශූරතාව දිනා ගැනීම සඳහා පැවැති අවසන් තරගයේදී ජාතික ටෙනිස් ශේ‍ර්ණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන සන්ඛ අතුකෝරාළ තරග වට 2-1ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

කාන්තා කේවල ඉසව්වේදී අනිකා සෙනෙවිරත්න ශූරතාව දිනා ගැනීම සඳහා රොශෙන්කා ප්‍රනාන්දු තරග වට 2-1 කින් පරාජය කිරීමට සමත් වූ අතර ඇය මෙවර කොළඹ ටෙනිස් ශූරතාවලියේදී ශූරතා තුනක් දිනාගැනීමට දායක වීම විශේෂත්වයක් විය. එහිදී ඇය ජිත්මි ජයවික්‍රම සමඟ එක්ව කාන්තා යුගල ශූරතාව දිනාගැනීම සඳහා රොශෙන්කා ප්‍රනාන්දු සහ රුෂිකා විජේසූරිය යුගලය පරාජය කිරීමට සමත් වූ අතර ටී. දිනේෂ්කාන්තන් සමඟ එක්ව සන්ඛ අතුකෝරාළ සහ මෙධිරා සමරසිංහ යුගලය පරාජය කරමින් මිශ්‍ර ශූරතාවයේ කොටස්කාරියක වීමටද සමත් වූවාය.

මේ අතර ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනා ගැනීම සඳහා එම අවසන් තරගයේදී සන්ඛ අතුකෝරාළ සහ යසිත ද සිල්වා යුගලය හීරා ආශික් සහ ටන්වීර් ආශික් යුගලය පරාජය කිරීමට සමත් වූ අතර අවුරුදු 55න් ඉහළ පිරිමි යුගල ශූරතාව එම්.ඒ. සමරකෝන් සහ එස්.ඒ. සෙනෙවිරත්න යුගලය හිමි කර ගැනීමට සමත් වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්