දකුණු අප්‍රිකාව ගෙදර යැවූ පාකිස්තානය ඊයේ ශ්‍රී ලංකාවත් ගෙදර යවයි

  👤  2715 readers have read this article !
Published by : MB WEB 2017-06-13 08:27:44

විචිත්‍ර වීරසිංහ _ එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ක්‍රීඩා පිටියේ සිට..

පන්දු රැකීමේදී පෙන්වූ දුර්වලතා හේතුවෙන් එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් ලෙස පාකිස්තානය සමඟ පැවැති තරගය කඩුලු 3කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාවද ඊයේ (12දා) අහිමි කරගත්තේය.

කාඩිෆ්හි සොෆියා ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236 මුලදී පහසු බව පෙනුණද එම ලකුණු ප්‍රමාණය ලබාගැනීම සඳහා කඩුලු 7ක් පූජා කරන්නට පාකිස්තානයට සිදුවිය.

ශ්‍රී ලංකාව ලබාදුන් 237ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තානු පළමු කඩුල්ල ලකුණු 0දී ලබාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහුණු අතර, එහිදී පාකිස්තානු ඉනිමේ මෙන්ම මාලිංග යැවූ පළමු පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකට අසාර් අලී ලබා දුන් උඩ පන්දුව රැකගත්තා නම් තරගයට මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබිණි.

සිය එක්දින දිවියේ දෙවැනි තරගයට ක්‍රීඩා කළ පාකිස්තානු අනෙක් ආරම්භක පිතිකරුවා වූ ෆකාර් ෂමාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් පන්දු 36කට මුහුණ දී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගත් අතර, ඔහු අසාර් අලී සමඟින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක්ද එක් කිරීම විශේෂත්වයකි.

ෂමාන්ගේ දැවී යෑමෙන් අනතුරුව අලීට එකතු වූ බාබර් අසාම් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සබඳතාවක් එක්කරමින් සිටියදී ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ අසාම් ලකුණු 10කට දැවී යන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 2කට ලකුණු 92ක් විය. එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 3ක් එකතු වෙද්දී පාකිස්තානු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස හෆීස් එක් ලකුණකට ක්‍රීඩාගාරය බලා හරවා යැවීමට තිසර පෙරේරා සමත් වෙද්දී තරගයේ ජයග්‍රහණය දෙපිලට බර වන ලකුණු පෙනිණි. එතෙක් හොඳින් පන්දුවට පහර දී සිටි අසාර් අලීද ලකුණු 34කට දවාගත් ලක්මාල් පීඩනය පාකිස්තානය දෙසට යොමු කළේය.

අනතුරුව ෂොයිබ් මලික්ද පාකිස්තානු පස්වැනි පිතිකරුවා ලෙස ලකුණු 11කට දැවී යද්දී යළිත් ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් ලකුණු 4ක් ලබා සිටි අමාඩ් වසීම් දවා ගැනීමත් සමඟ පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 137ක් විය. වසීම්ගේ දැවී යෑමෙන් පසු පාකිස්තාන පිලේ නායක සර්ෆ්‍රාස් අහමඩ්ට එකතු වූ නවක පිතිකරු ෆහිම් අෂ්රාෆ් පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 162 දක්වා රැගෙන ආ අවස්ථාවේදී අෂ්රාෆ් දුවද්දී දවාගැනීමට හසුකර ගැනීමට තිසර පෙරේරා සමත් විය.

මේ අවස්ථාව වන විට තරගයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාව දෙසට බරව තිබුණද පාකිස්තානු ඉනිමේ ඇණය බවට පත්වූ නායක සර්ෆ්‍රාස් අහමඩ් මොහොමඩ් අමීර් සමඟ එක්ව ජයගහණය කරා පාකිස්තානය රැගෙන ගියේය. ලකුණු 194කට කඩුලු 7ක් දැවී තිබූ මොහොතක මාලිංග යැවූ පන්දුවකට නායක අහමඩ් ලකුණු 38ක් ලබා සිටියදී තිසරට ලබා දුන් උඩපන්දුව හා ඔහු (අහමඩ්) ලකුණු 40ක් ලබා සිටියදී මාලිංගගේම පන්දුවක් හමුවේ සික්කුගේ ප්‍රසන්නට ලබා දුන් උඩපන්දු අතහැර දැමීමේ විපාක ශ්‍රී ලංකාවට විඳීමට සිදුවිය.

පාකිස්තානු ඉනිමේ ගැලවුම්කාරයා වූ නායක සර්ෆ්‍රාස් අහමඩ් නොදැවී ලකුණු 61ක් ලබාගත් අතර, ඔහු මෙහොමඩ් අමීර් සමඟ අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක නොබිඳුණු සබඳතාවක්ද එක් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් කරා පාකිස්තානය රැගෙන ගියේය.

පාකිස්තානයේ ඇරැයුමෙන් පළමුවෙන්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දික්වැල්ල හා ගුණතිලක යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවක් එක්කරමින් සිටියදී ගුණතිලක ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 13කට දැවී ගියේය. ඉන්දියාව සමඟින් පැවැති තරගයේදී ලකුණු 89ක් ලබාගත් කුසල් මෙන්ඩිස් දික්වැල්ලට එකතු වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉදිරියට තල්ලු කළේය.

දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් එක්වෙද්දී මෙන්ඩිස් ලකුණු 27කට දවාගැනීමට හසන් අලී සමත් වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 82ක් විය. ඉන් අනතුරුව පැමිණි චන්දිමාල්ට වැඩි දෙයක් කිරීමට ඉඩ ලබා නොදීය. ඊයේ (12දා) දිනයේදී පාකිස්තාන එක්දින වරම් දිනාගත් ෆහීම් අෂ්රෆ් යැවූ පළමු පන්දුවාරයේම දෙවැනි පන්දුවට පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යනවිට ඔහු කිසිදු ලකුණක් ලබා නොසිටියේය.

කඩුලු 3කට ලකුණු 83ක් වූ ශ්‍රී ලංකා ඉනිම සෙමින් සෙමින් ඉදිරියට ඇදගෙන යෑමට ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් හා දික්වැල්ල සමත් වුවද එම සිවුවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 78කට සීමා කළ අමීර් ශ්‍රී ලංකා නායකයා ලකුණු 39කට දවාගැනීමත් සමඟ පීඩනය ශ්‍රී ලංකාව දෙසට යොමුවිය. එම පීඩනය වඩාත් තීව්‍ර කරමින් කුසල් ජනිත් වෙනුවට කණ්ඩායමට එක්වූ ධනංජය සිල්වා ලකුණු 1කට දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 162ක් විය. එම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට සුබදායී නොවන බව පෙන්වමින් එතෙක් හොඳින් පන්දුවට පහර දුන් දික්වැල්ල ලකුණු 73කට දැවී යනවිට ලකුණු 200 සීමාවටවත් පිවිසිය නොහැකි තත්ත්වයක් උදාවිය.

ඉන් අනතුරුව තිසර පෙරේරාද ලකුණු 1ක් ලබා සිටියදී ජුනයිඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ට උඩපන්දුවක් ලබා දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 167ක් විය. ඉන් අනතුරුව ගුණරත්නට එක්වූ සුරංග ලක්මාල් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවක් එක්කරමින් ගරා වැටුණු ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ශ්‍රී ලංකාව මුළු ලකුණු (පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී) 236

ධනුෂ්ක ගුණතිලක 13
කුසල් මෙන්ඩිස් 27
ඇන්ජිලෝ මැතිව්ස් 39
අසේල ගුණරත්න 27
සුරංග ලක්මාල් 26
ලසිත් මාලිංග නොදැවී 09
නුවන් ප්‍රදීප් 01
ජුනයිඩ් ඛාන් 10-3-40-3,
හසන් අලී 10-0-43-3,
මොහොමඩ් අමීර් 10-0-53-2,
ෆහීම් අෂ්රෆ් 6.2-0-37-2

පාකිස්තානය මුළු ලකුණු

(පන්දුවාර 44.5කදී කඩුලු 7කට) 237
අසාර් අලී 34
ෆකාර් ෂමාන් 50
බාබර් අසාම් 10
ෂොයිබ් මලික් 11
සර්ෆ්‍රාස් අහමඩ් නොදැවී 61
මොහොමඩ් අමීර් නොදැවී 28
නුවන් ප්‍රදීප් 10-0-60-3,
ලක්මාල් 10-0-48-1,
තිසර 8-0-43-1,
මාලිංග 9.5-2-52-1

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්