අද ශෝක වෙන්න උතුරු මහ ඇමැති කියයි

  👤  1451 readers have read this article !
Published by : MB WEB 2017-05-18 10:02:08

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි මියගිය වැසියන් සිහිකර විනාඩි 3ක් නිශ්ශබ්ද වන්නැයිද අද (18දා) ශෝක දිනයක් සේ සලකන්නැයිද උතුරු මහ ඇමැති දෙමළ ජනතාවගෙන් ඉල්ලයි.

අවසන් යුද්ධයේදී මියගිය වැසියන් සැමරීමේ සතියේ අවසන් වැඩසටහන අද (18දා) මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

මුල්ලිවයික්කාල් වැඩසටහනට සමගාමීව සැමරුම් සිදුකරන්නැයි ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගෙන්ද එම නිවේදනය මඟින් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

නිවේදනයේ ප්‍රධාන වශයෙන් සටහන් කොට ඇත්තේ අද (18දා) උදෑසන නවයයි තිහට ආරම්භ කරන මේ වැඩසටහනට සමගාමීව ලොව පුරා දෙමළ ජනතාවද විනාඩි 03ක කාලයක් නිහඬතාව රකිමින් මියගිය වැසියන් වෙනුවෙන් ගෞරව කොට සැමරුමට සහාය පළ කළ යුතු බවයි.

සැමරුමට සහාය පළ කිරීමෙන් යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ වහා ක්‍රියාත්මක කළ යුතු බවට ලෝකවාසී දෙමළ ජනතාව ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවද ඔහු සඳහන් කොට ඇත.

අද දිනය ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසටත් උතුරු නැඟෙනහිර මේ වන විට දෙමළ තරුණ තරුණියන් මෙන්ම ජනතාව විශාල වශයෙන් ජීවත් වුණත් ඔවුන්ට අමිහිරි යුද මතකය ඇති හෙයින් අවසන් යුද්ධයේදී මියගිය සිය ඥාතීන්ට සිදුවූ සත්‍ය සිදුවීම් පිළිබඳ දැන ගැනීමට අයිතියක් ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පිහිටි යුද සැමරුම් ස්මාරකය අසලදී උතුරු මහ ඇමැතිගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභාවේ සැමරුම පළමුව සිදුවන අතර අනතුරුව අවස්ථා කිහිපයකදී විවිධ දේශපාලනඥයන් හා සංවිධාන විසින් මියගිය වැසියන් සැමරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්