සැර බාලවුණු අයි.පී.එල්. ලොක්කන් ක්‍රිකට් මහගෙදරට කොකා පෙන්වයිද?

  👤  749 readers have read this article !
Published by : MB WEB 2017-05-13 14:27:39

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) උපයාගන්නා ආදායමෙන් වැඩි පංගුව ඉල්ලා රණ්ඩු කරගත් ඉන්දියාව එම උත්සාහය අසාර්ථක කරගත් පසුව ඔවුන්ගේ දේශීය ක්‍රිකට් මංගල්‍යය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයි.පී.එල්.) තරගාවලියේ පසු විපරමක් කළයුතුද යන්න පිළිබඳව අවධානය යොමුකර ඇත. එයට හේතුව මෙවර අයි.පී.එල්. තරගාවලිය තුළ වෙනදා ලොවට විදහා පෑ දස්කම් මෙවර නොපෙන්වීම බවට වාර්තා පළවෙමින් පවතී. ඒ නිසාම දහවැනි වරටත් මෙවර පවත්වන අයි.පී.එල්. තරගාවලියේ රසවත් බව ක්‍රීඩා ලෝලීන්ගෙන් අෑත්වී යන්නට ප්‍රථමයෙන් විවිධ යෝජනා එක් වෙමින් පවතින අතර දක්‍ෂ විදෙස් ක්‍රීඩකයන්ගේ දායකත්වය මීට වඩා ලබාගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බවද පැවැසේ.

අයි.පී.එල්. තරගාවලිය නීතිරීතිවලට අනුව එක් තරගයකට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනකුට පමණක්ය යන බාධකය ඉවත්කළ යුතු යැයි සමහරුන්ගේ දැන් මතය වී ඇත. රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් සංචිතයේ සිටි දකුණු අප්‍රිකානු විස්සයි-20 කණ්ඩායමේ නායක ෆා ඩු ෆ්ලෙසිට පවා එක තරගයක්වත් ලබා නොදීම මතභේදයට තුඩු දුන් කාරණයක් විය. ඒ නිසා කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයන්ට ඇති බාධකය ඉවත් කරමින් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ආකෘතියම අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට ආදේශ කිරීමට අදහසක් මතු වී ඇත.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදීද මින් පෙර තිබූ සීමාව වූයේ තරගයකදී කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයන් ප්‍රමාණය සිවුදෙනකු යන්නය. නමුත් දැන් එම සීමාව ඉවත් කර ඇත.

ඒ අනුව යමින් අයි.පී.එල්. තරගාවලියේදීද තරගයකදී ක්‍රීඩා කළ හැකි 11 දෙනාගෙන් 4 දෙනකුට වඩා විදෙස් ක්‍රීඩකයන් කරගැනීමේ හැකියාව ගැන අවධානය යොමු කරන්නට වෙනත් හේතු සාධකද බලපෑවා විය හැකිය. එනම් ඒ මඟින් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන්ගෙන් ලබාගන්නා දායකත්වය වැඩි කොට ඇතිවන ජනප්‍රියත්වය හරහා ආදායම වැඩිකරගෙන මෙය අයි.සී.සී. යට කොකා පෙන්වීමට ගන්නා උත්සාහයක්ද විය හැකිය.

කෙසේ වෙතත් පෙර වසරවලට වඩා මෙවර අයි.පී.එල්. තරගාවලියේ ජනප්‍රියත්වයට හානි කරන්නට ලොව නමක් දරා සිටින ක්‍රීඩකයන්ගෙන් වැහැරී ගොස් ඇති දක්‍ෂතා බලපා ඇති අතර, දස්කම් දක්වමින් සිටි බොහෝ විදෙස් ක්‍රීඩකයන් අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට එංගලන්තයට යෑමට සූදානම් වීමට මේ වනවිටත් තම නිවෙස් බලා ගොස් ඇත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට එම ගැටලුව මතු නොවන නමුත් ක්‍රිස්ගේල් වැනි ක්‍රීඩකයකුගේ මෙවර අසාර්ථකත්වය ඉන්දීය ජාතික කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිසරදයක් වන්නට තරම් අවාසනාවන්ත තත්ත්වයක් විය. වසර 10ක අයි.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු (49) සංඛ්‍යාවට දැවී යන්නට විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සිදුවූ අතර, වර්තමානයේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමටත් නැති ගෞතම් ගාම්භීර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කෝලිට එවන් ඉරණමක් අත්වූයේ ලෝක පූජිත ගේල්, ඩි විලියර්ස් හා ෂේන් වොට්සන් වැනි ක්‍රීඩකයන්ද අතැතිවය.

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් පවසා ඇත්තේ මෙම 2017 අයි.පී.එල්. තරගාවලිය තමාගේ අසාර්ථකම අයි.පී.එල්. තරගාවලිය බවය. ඔහු මෙවර තරග 7කදීම ලබාගෙන තිබුණේ ලකුණු 67ක් (සාමාන්‍ය 11.16) පමණි. එම තරග 7 තුළදී පන්දුවාර 22යි පන්දු 5ක් යවා ප්‍රතිවාදීන්ට ලකුණු 229ක්දී ලබාගත්තේ කඩුලු 4ක් පමණි. ලබන වසරේ අයි.පී.එල්. වෙන්දේසියේදී කිසිවකු ඇහැක් ඇර නොබලන්නට තරම් වොට්සන් අප්සෙට් ජොකියෙක් වෙද්දී ගේල් මෙවර ෆේල් වුණේ යළි කවදාවත් අයි.පී.එල්. තරගාවලියකදී ගොඩ එන්නට බැරි තරමටය.

තවද පසුගිය 2016 වසරේ අයි.පී.එල්. පිතිකරුවන් අතර තුන්වැනි තැන සිටි දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් මෙවර සිටින්නේ 33 වැනි ස්ථානයේය. එනම් පසුගිය අවුරුද්දේ ලකුණු 52.84ක සාමාන්‍යයක් රදවාගත් ඩි විලියර්ස් ලකුණු 27.00ක සාමාන්‍යයක් දක්වා පසුබා ඇත.
ඉන්දීය නායක කෝලිටද අත්වී ඇත්තේ එවන් ඉරණමකි.

මුළු ලකුණු 973ක් ගෙන පසුගිය අයි.පී.එල්. තරගාවලියේ පිතිකරුවන් අතර පළමු තැන සිටි කෝලිට මෙවර හිමි වී ඇත්තේ 25වැනි ස්ථානයයි. ඔහුගේ අයි.පී.එල්. ලකුණු සාමාන්‍යයද වසරක් තුළදී ලකුණු 81.08 සිට 27.00 දක්වා පහත වැටී ඇත. ඒරොන් ෆින්ච්, බේ‍රන්ඩන් මැකලම්, ඩේවිඩ් මිලර් සහ ග්ලේන් මැක්ස්වෙල්ගෙන්ද වෙනදා දුටු හයේ වරුසාවන්් මෙවර දකින්නට ලැබුණේ නැත.

මෙම සෑම පිතිකරුවකුගේම අසාර්ථකත්වය පිටුපස ඉන්දීය දඟ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය තිබිණි. ඉන්දියාව පැත්තෙන් ඔවුන් බලාපොරාත්තු දේ එසේ ඉටුවුණද විස්සයි-20 තරගවලදී ප්‍රේක්‍ෂකයන් පැමිණෙන්නේ කඩුලු වැටෙන ආකාරය දැකගන්නට වඩා වේගවත් පහරවල් දැක බලා ගන්නටය. එතරම් උසස් ප්‍රමිතියකින් යුත් ප්‍රේක්‍ෂකයන් නොසිටින ඉන්දියාව වැනි රටකට එම තර්කය වඩාත් ගැළපෙයි.

10 වැනි පියවර නිමාවත් සමග එසේ අයි.පී.එල්. වෙනසකට ඉන්දියාව අර අඳිද්දී අපේ රටෙන් එදා අයි.පී.එල්. ගිය ගණනද අද පහත වැටී ඇත. එදා පළමු අයි.පී.එල්. තරග පැවැති 2008 දී ශ්‍රී ලංකාවෙන් 13 දෙනකු සහභාගි වුවද අද එම සංඛ්‍යාව 3කට පහත බැස ඇත. ඒ අතරින්ද ක්‍රීඩා කළේ ලසිත් මාලිංග හා ඇන්ජිලෝ මැතිව්ස් පමණි. මාලිංග සමඟ මුම්බායි ඉන්දියන් පිලට ඇතුළත්ව සිටි අසේල ගුණරත්න ප්‍රේක්‍ෂකයෙක් සේ බංකුවේ සිට ගෙදර ආවේ එදා දිනේෂ් චන්දිමාල්ට සිදුවූ දෙයම සිහිපත් කරමිනි.

මෙවර මැතිව්ස්ද තරග දෙකකට පමණක් ක්‍රීඩා කොට එතරම් සාර්ථක නොවුණද අයි.පීඑල්. තරගාවලි ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකළ ප්‍රථම ක්‍රීඩකයා වන්නට මාලිංග සමත්විය. නමුත් පසුගිය අයි.පී.එල්. තරගාවලියේද තරග 15කට ක්‍රීඩා කොට කඩුලු 24ක් ලබා පන්දු යවන්නන් අතර 2 වැනියා වූ මාලිංගට මෙවර හිමිවී ඇත්තේ 25 වැනි ස්ථානයයි. ඒ නිසා වෙනදා වැඩ පෙන්වූ බොහෝ විදෙස් ක්‍රීඩකයන්ද මෙවර වැඩේ ඇනගත් බැවින් වැඩි වෙනසක් මඟින් වැඩි වාසි ලබාගැනීමට අසල්වැසි පාලකයෝ උත්සාහ කරනු ඇත.

සිරිනාම රාජපක්‍ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්