මතභේද අවසන් ඉන්දියාව ශූරයන්ගේ කුසලානයට

  👤  1640 readers have read this article !
Published by : MB WEB 2017-05-08 13:12:54

එළැඹෙන ශුරයන්ගේ කුසලානය සදහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ පැවැති විශේෂ මහසභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. ඒ අනුව අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය (ICC Champions Trophy) සඳහා සහභාගි වීමට නියමිත ඉන්දීය කණ්ඩායම තෝරා ගැනීමට එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (8දා) කැඳවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම ලේකම් අමිතාබ් චවුද්රි ප්‍රකාශ කළේය.

ඉන්දීය මහාධිකරණය විසින් පත්කර ඇති විශේෂ ක්‍රිකට් පරිපාලන කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කරන ලද නියෝගයකට අනුව ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇතැයි එකී වාර්තා සඳහන් කරයි.

එම විශේෂ කමිටුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තවදුරටත් දන්වා ඇත්තේ 2017 ජුනි 1දා ආරම්භ වන අයි. සී. සී. කුසලාන තරගාවලියට අදාළ ඉන්දීය කණ්ඩායම වහාම ප්‍රකාශයට පත්කරන ලෙසයි. තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කළ යුතු අවසන් දිනය පසුගිය අප්‍රේල් මස 25දාට යෙදී තිබුණද ඉන් පෙර කණ්ඩායම තෝරා නොගැනීම ගැන ඉන්දීය ක්‍රිකට් පරිපාලනය භාරව සිටින අධිකරණ බලතල සහිත එකී පරිපාලන කමිටුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර ඇති අතර පසුගියදා ඩුබායි හිදී පැවැති අයි. සී. සී. ආදායම් බෙදීයෑමට අදාළ රැස්වීමේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළ ආකාරය ගැනද එකී පරිපාලන කමිටුව ප්‍රශ්න කර ඇත.

ඉන්දීය මහාධිකරණය පත්කර ඇති එම විශේෂ පරිපාලන කමිටුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් චවුද්රි මහතා වෙත ලිපියක් යවමින් තවදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් 25දාට පෙර යැවිය යුතු ඉන්දීය කණ්ඩායම මේ වන තෙක් තෝරා නොගැනීම පවා ප්‍රශ්නයක් බවත් අයි. සී. සී. ශූරයන්ගේ කුසලානයට වර්තමානයේ හිමිකම් කියන ඉන්දියාවට යළි එය රැකගැනීමට හැකි ආකාරයෙන් අවශ්‍ය සූදානම් කර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතිමය අයිතීන්ට අගතියක් නොවන පරිදි හැකි ඉක්මනින් ඉන්දීය කණ්ඩායම තෝරා අයි. සී. සී. වෙත යැවිය යුතු බවත්ය.

සටහන - සිරිනාම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්