මේක දක්ෂයෝ ඉන්න රටක් ලොකු වෙනස්කම් කරන්න යන්නෙ නැහැ

  👤  1697 readers have read this article !
Published by : MB WEB 2017-05-03 12:14:25

සිරිනාම රාජපක්ෂ

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම එංගලන්තය, සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම් සමඟ වේගපන්දු යැවීමේ අංශයේ පුහුණුකරුවකුද ලෙස කටයුතු කර ඇති ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යැවීමේ අංශයේ පුහුණු උපදේශකවරයකු ලෙස ඊයේ වැඩ භාරගත්තේය.

එළැඹෙන අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් මාස 2ක පමණ කාලයක් කටයුතු කිරීමට නියමිත ඇලන් ඩොනල්ඩ් අද දිනයේ තම රාජකාරි ආරම්භ කිරීමට පෙර ඊයේ (2දා) විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රිකට් කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ලැබීම තමන් ලැබූ විශේෂ වරප්‍රසාදයක් බවයි. තවද ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග මුහුණදීමට නියමිතව ඇති අයි.සී.සී. චැම්පියන්ස් ක්‍රිකට් කුසලාන තරගාවලියේ වැදගත්කම විස්තර කරමින් කතා කළ ඇලන් ඩොනල්ඩ් "පුහුණුකරුවෙක් විදියට බැලූ විට දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටින ශ්‍රී ලංකාව වගේ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට ලැබීමත් මහඟු අවස්ථාවක් ලෙස මා සලකනවා.

කෙටි කාලයකට වුණත් ලැබුණ මේ අභියෝගය ඉතාමත් සතුටින් භාරගන්නවා. ඒ වාගේම කදිම පුහුණු කාර්ය මණ්ඩලයක් සමඟයි මම අයි.සී.සී. තරගාවලියට එංගලන්තයට යන්නේ" යනුවෙන් කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළදී පැවැරී ඇති රාජකාරියට අදාළව ඇසූ පැනයකටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ ඩොනල්ඩ් "මම හෙට (3දා) මෙහි නැඟී එන තරුණ වේග පන්දු යවන්නන් සමඟ කරන පුහුණු කටයුත්තකින් රාජකාරිය අරඹනවා. මම එක පාරටම ලොකු වෙනස්කම් කරන්න උත්සාහ කරන්නෙ නැහැ. සති දෙක තුනක් යන විට ක්‍රීඩකයන් කවුද ඔවුන්ගේ හැකියාවන් මොනවද කියල මට හඳුනාගන්න ලැබේවි.

හෙට පවත්වන යොවුන් වේග පන්දු යවන්නන් සමඟ වැඩසටහනින් පසුව වේග පන්දු යැවීමේ පුහුණුකරුවන් සමඟත් තවත් වැඩසටහනක් පවත්වන්න නියමිතයි. මගේ අත්දැකීම් ඔවුන් සමඟ වඩාත් ඵලදායී ලෙස බෙදාහදා ගැනීම මගේ අදහසයි" යනුවෙන්ද කී වේග පන්දු යැවීමේ පුහුණු උපදේශකයා තවදුරටත් කියා සිටියේ අයි.සී.සී. කුසලානයට යන්නට ඉතා ශක්තිමත් සංචිතයක් දැනටමත් ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බවයි.

තවද එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන තරගාවලිය ගැන අදහස් දැක්වූ ඩොනල්ඩ් තවදුරටත් කියා සිටියේ, ජුනි මාසයේ එංගලන්තයේ පවතින දේශගුණික තත්ත්වය යටතේ ක්‍රීඩා කිරීමේදී වේග පන්දු යවන්නන්ගේ කාර්යභාරයද ඉතාමත් තීරණාත්මක එකක් බවයි.

එසේම තරගයක කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහරදීම වඩාත් උචිත බව ඩොනල්ඩ්ගේ අදහස විය. ලසිත් මාලිංග ගැන ඇසූ පැනයකටද පිළිතුරු දුන් ඩොනල්ඩ් කියා සිටියේ, කලකට පසුව මෙම එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට මාලිංගට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු තරගයකදී කළ යුතු දේ කුමක්දැයි දන්නා අත්දැකීම් බහුල ලෝක ප්‍රකට පන්දු යවන්නකු බවත්ය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්ද කියා සිටියේ, පන්දු වාර 10ක්ම යැවීමට හැකියාව නොබලා ඊට අඩු පන්දු වාර ප්‍රමාණයක් යැවීමට හෝ මාලිංග කණ්ඩායමට තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

තවද එහිදී ඊයේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද කියා සිටියේ, මාලිංග මේ දිනවල අයි.පී.එල්. ක්‍රීඩා කිරීම පුහුණුව පැත්තෙන් බැලූ කල ශ්‍රී ලංකාවට වාසි සහගත බවයි. ඔහු මේ දිනවල පන්දු වාර 4කට වඩා යවමින් විශේෂ පුහුණුවකද යෙදෙන බව කී සුමතිපාල මහතා පැවසුවේ අයි.පී.එල්. තරගාවලියට ගිය අසේල ගුණරත්න ඊයේ (1දා) ලංකාවට පැමිණි බවත් නායක මැතිව්ස් මැයි 9දාට පෙර මෙරටට පැමිණීමට නියමිත බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්