ජුනි මාසයේදී වැඩ පෙන්නුවොත් චම්පකගේ තැන ඩොනල්ඩ්ට!

  👤  1963 readers have read this article !
Published by : MB WEB 2017-05-02 13:04:37

සිරිනාම රාජපක්ෂ

අද සිට මාස දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වේගපන්දු යැවීමේ අංශයේ පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරන දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස පත් කිරීම කෙරෙහිද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ලබන ජුනි මස 1දා සිට 18දා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණු උපදේශකයකු ලෙස පත්කර ඇති ඩොනල්ඩ් වෙතින් එළැඹෙන අයි.සී.සී. ක්‍රිකට් තරගාවලියේදී සාර්ථක ප්‍රතිඵල ලැබුණහොත් ඔහුට ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරු තනතුර පිරිනැමීමට නිල නොවන මට්ටමෙන් සාකච්ඡා වී ඇතැයි එකී ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ ජාතික පුහුණුකරු චම්පක රාමනායකගේ වසර දෙකක කොන්ත්‍රාත්තු සේවා කාලය ලබන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින් ඉන් පසුව ඒ සඳහා ඩොනල්ඩ්ගේ සේවය ලබා ගැනීම කෙරෙහි මෙසේ අවධානය යොමු වී ඇතැයි පැවැසේ. ඒ අනුව චැම්පියන්ස් කුසලාන තරගාවලිය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවාගේ වෙනස්වීම සිදුවිය හැකි අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසද ඇලන් ඩොනල්ඩ් කටයුතු කළේය.

වර්තමානයේදී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙස කටයුතු කරන ඩොනල්ඩ් ශ්‍රී ලංකා පිලේ නව රාජකාරිය වෙනුවෙන් මාස 2කට පමණක් නිදහස් කර ඇති අතර ශ්‍රී ලංකා වත්මන් වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක 2012 වසරට පෙරද ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. තවද පසුගිය 2015 වසරේ ජුනි මස සිට නැවත වරක් ශ්‍රී ලංකාවේ එම තනතුර භාරගත් රාමනායක මහතා ඉන් පෙර බංග්ලාදේශයේ වේග පන්දු යැවීමේ ජාතික පුහුණුකරු තනතුරේ කටයුතු කළ අයෙකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වේග පන්දු පුහුණු කිරීමේ අංශය චම්පක රාමනායක, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර හා නුවන් සොයිසා යන වේග පන්දු යවන්නන්ගෙන් සමන්විතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්