චැම්පියන්ස් කුසලානයට යන සැබෑ චැම්පියන්ස්ලා කවුද?

  👤  2245 readers have read this article !
Published by : MB WEB 2017-04-30 09:39:48

ජුනි 01දා සිට ජුනි 18 දක්වා එංගලන්තයේදී ආරම්භ වන 8 වැනි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන බොහෝ දෙනෙක් මේ වන විටත් කතා කරන බවට සැකයක් නැහැ. මේ දවස්වල තියෙන අයි.පී.එල්. තරගාවලියේදී මේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන දිහා, ගැහිල්ල දිහා බැලුවාම මේ අය ශූරයන්ගේ කුසලානයේදී සැබෑම වීරයන් වේවි කියලා ක්‍රිකට්වලට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා.

ඒත් මේ පතාකයන්ගෙන් ලංකා කණ්ඩායමටත් විශාල තර්ජනයක් එල්ල වේවි. ඒ තර්ජනය කරන අය දෙස බලද්දී ඉදිරියෙන්ම ඉන්නේ ඒ බී ඩි විලියර්ස් හා හෂීම් අම්ලායි. මේ දෙදෙනාම ඉන්නේ දකුණු අප්‍රිකාවේ නිසා ඒකෙන් වැඩිම පීඩනයක් වෙන්නේ ලංකා කණ්ඩායමටයි. ඒ මොකද කිව්වොත් අපේ පළමු තරගය තියෙන්නේ ජුනි 03 වැනිදා අප්‍රිකාව එක්ක නිසයි. කොහොම වුණත් මේ හා සමානව තවත් බොහෝ අය ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක් වගේම එංගලන්තයේ ජොස් බට්ලර්, ජෝ රූට්, ක්‍රිස් වෝක්ස් ඉදිරියෙන්ම ඉන්න කිහිප දෙනෙක්.

ඒ වගේම නවසීලන්ත කණ්ඩායමේ ඉන්න කේන් විලියම්සන්, මිචෙල් මැක්ග්ලෙනගන්, බංග්ලාදේශයේ සකිබ් අල් හසන්, තමීම් ඉක්බාල් සෞම්‍ය සාකර් වගේම පාකිස්තානයේ බාබර් අසාම් හා මොහොමඩ් හෆීස් පැහැදිලි යමක් කරාවි. පසුගිය බ්‍රහස්පතින්දා සවස්වරුව වනතුරුම ඉන්දීය කණ්ඩායම කණ්ඩායමක් ඉදිරිපත් කරලා නොතිබුණත් ඔවුන් මේ කුසලානයට ආවොත් විරාත් කෝලි, රවිචන්ද්‍රන් අශ්වින්, එම්.එස්.දෝනි, බුවනේෂ්වර් කුමාර් අනෙක් කණ්ඩායම්වලට තර්ජනයක් වේවි.
කොහොම වුණත් ලංකාවේ ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ කණ්ඩායමේ වඩාත් අත්දැකීම් ඇති ඇන්ජිලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග මේ අභියෝගයන් ජයගනීවි කියලයි. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් නිසා කාටවත් හරියට අනාවැකියක් කියන්න බැහැ. පන්දුවකින් දෙකකින් සියලුම දේ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රිකට්වල අසිරිය.

විචිත්‍ර වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්