නුවරඑළිය වසන්ත සමය උණුසුම් කරන්නට 500ක් බැඩ්මින්ටන් සටන් බිමට

  👤  1213 readers have read this article !
Published by : MB WEB 2017-04-27 13:24:58

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇතිව නුවරඑළිය නගර සභාවේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන නුවරඑළිය වසන්ත සමයේ වාර්ෂික බැඩ්මින්ටන් ශූරතාවලිය අප්‍රේල් 29දා සිට මැයි 4 වැනිදා දක්වා නුවරඑළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 500කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වන අතර, මෙවර තරගාවලියේදී ඇති විශේෂත්වය වන්නේ නුවරඑළිය වැනි ශීත දේශගුණ තත්ත්වයෙන් යුතු පරිසරයක රබර් කාපට් අතුරා මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි.

ඒ අනුව මෙම තරගාවලියේදී අවුරුදු 11න්, 13න් පහළ බාලක හා බාලිකා කේවල, අවුරුදු 15න්, 17න් හා 19න් පහළ බාලක/බාලිකා කේවල හා යුගල, විවෘත පිරිමි/කාන්තා කේවල, යුගල, හා මිශ්‍ර යුගල වශයෙන්ද අවුරුදු 35 හා 40 වයස් කාණ්ඩය (පිරිමි) වශයෙන්ද පැවැත්වේ.

මේ දිනවල චීනයේදී පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වී සිටින නිලුක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, ලේඛා ෂෙහානි, අචිනි රත්නසිරි, උපුලි සමන්තිකා, තිළිණි ප්‍රමෝදිකා මෙන්ම දිනුක කරුණාරත්න, හසිත චානක, රන්තුෂ්ක කරුණාතිලක, දිලුක කරුණාරත්න, කවිඳි ඉෂාදිකා, නදීෂා ගයාත්‍රි යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ද 90 දශකයේදී ශ්‍රී ලංකාවේ කා අතරත් ජනප්‍රිය වී සිටි දුමින්ද ජයකොඩි, සුභාෂ් ජානක යන දක්‍ෂ ප්‍රවීණ ක්‍රීඩකයන්ද සහභාගි වන බැවින් තියුණු තරගාවලියක් දැකගැනීමේ අවස්ථාව නුවරඑළිය ක්‍රීඩාලෝලීන්ට උදාවී තිබේ.

කෙසේ වුවත් මෙම තරගාවලියේදී මෙවර ජයග්‍රාහක-ජයග්‍රාහිකාවන්ට මුදලින් රුපියල් ලක්‍ෂ 5ක ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්