තවත් සිගරැට් කොම්පැනියක් ලියාපදිංචි කිරීමේ සූදානමක්

  👤  2187 readers have read this article !
Published by : MB WEB 2017-04-19 10:22:41

ජේ. ටී. ද සිල්වා

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වන බැවින් මේ පිළිබඳ සොයා බලා ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් රටට හෙළිකිරීමට ක්‍රියා කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

රට තුළ දුම්කොළ හා දුම්වැටි නිවාරණය සඳහා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සඳහා තම සංගමය කොන්දේසි විරහිතව සහයෝගය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, මේ වන විට දුම්වැටි පාලනය සඳහා සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිව ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය නවීන් ද සොයිසා, ජනාධිපතිවරයා පවා දුම්වැටි පාලනය සඳහා ක්‍රියා කරමින් සිටියදී මෙසේ තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට යෑම බරපතළ වැරැද්දක් බවත්, දුම්වැටි නිවාරණ ක්‍රියාවලිය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේදීත් දැඩිව පෙනී සිටින බවත් අවධාරණය කෙළේය.

මේ දිනවල රට තුළ උණ රෝගය බහුලව පැතිරෙමින් පවතින බවත්, ඒ අතර පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය, ඩෙංගු උණ හා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය සඳහා දිවයින පුරා "ටැමිෆ්ලු" නමැති ඔෟෂධයේ හිඟයක් පවතින බව වාර්තා වන බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

එම ඔෟෂධය බෙහෙත් ගබඩාවල තිබෙන බවත්, හිඟයක් නොපවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළත්, දිවයිනේ රෝහල් කිහිපයකින්ම එම ඔෟෂධය නොමැති බවට ඊයේත් වාර්තා වූ බව සඳහන් කළ වෛද්‍ය සොයිසා, රෝගීන් සිටින්නේ බෙහෙත් ගබඩා තුළ නොව, රෝහල්වල බැවින් අමාත්‍යාංශය සතුව තිබෙන බව පවසන එම ඔෟෂධය රෝහල් වෙත යැවීමට සෞඛ්‍ය ඇමැතිවරයා වගබලාගත යුතු බවද පැවැසීය. රෝගීන්ගේ ජීවිත අහිමිවීමට ඉඩ නොතබා මෙම අත්‍යවශ්‍ය ඔෟෂධය සියලුම රෝහල් වෙත ලබාදී ඇද්ද යන්න පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරය රට හමුවේ තැබිය යුතු බවත්, අලුතින් ලියාපදිංචි කිරීමට යන බව කියන දුම්වැටි සමාගම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය ඇමැතිවරයා තම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

"රටේ ජනතාවට සත්‍ය වසන් කරමින් වචනවලින් ගැලවිලා, නූතන සේනක බිබිලේ කියන නාමය කියා ගැනීමට සූදානම් වන්න එපා" යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්