වසර තිහක සිනමා ගමන ගැන ඩොනල්ඩ් කියන කතා

  👤  3237 readers have read this article !
Published by : MB WEB 2017-04-10 08:35:14

කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් ලොකු කාලයක් නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ වසරට අවුරුදු තිහක් සම්පූර්ණ වෙනවා.

ඔබ කලාවට පිවිසෙන්නේ රංගන ශිල්පියෙක් විදියට' ඒ අතීතය මතක් කරමු?

ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම්, නීල් රූපසිංහ, යසපාලිත නානායක්කාර කියන්නේ මම කැමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවරු. රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා මම ඔවුන්ට ලිපි ලිව්වා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ චිත්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි ගමගේ මහත්මයාගේ මාර්ගයෙන් මට සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණා. ලූෂන් බුලත්සිංහල අධ්‍යක්‍ෂණය කළ 'එක මවකගේ දරුවෝ' ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම රංගනයෙන් දායක වුණේ. ළාහිරු දහසක්, යසෝරාවය වගේ ටෙලි නාට්‍ය කිහිපයකටම මම රංගනයෙන් දායක වුණා.

ඉන් පසුව ඔබ සහාය අධ්‍යක්‍ෂණයට එකතු වෙනවා නේද?

ඔව්. 1985 දී නීතිඥ අශෝක සේරසිංහ මහත්මයා අධ්‍යක්‍ෂණය කළ "රැකවරණය" ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සහාය අධ්‍යක්‍ෂණයෙන් එකතු වෙන්නේ. ඉන් පස්සේ ටෙලි නාට්‍ය කිහිපයකම සහාය අධ්‍යක්‍ෂණ කටයුතු කළා.

දැන් ඔබ සිනමා සහාය අධ්‍යක්‍ෂවරයෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක් විදියටත් ලොකු ගමනක් ඇවිත්. ඒ ඉඩ නිර්මාණය වුණේ කොහොමද?

මම චිත්‍රපටවල රඟපාන්න අවස්ථා ඉල්ලගෙන ගිය වාර අනන්තයි. නමුත් මට චිත්‍රපටයක රඟපාන්න මුල් අවස්ථාව දුන්නේ ධර්මසිරි ගමගේ මහත්මයා. ඔහුගේ 'පූජා' කියන චිත්‍රපටයේ රඟපාන්න වගේම ප්‍රවීණ සහාය අධ්‍යක්‍ෂවරයෙක් වන අයි. එන්. හේවාවසම් මහතා යටතේ දෙවැනි සහය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. මගේ සිනමා දිවියේ කුලුඳුල් දරුවා තමයි 'පූජා' චිත්‍රපටය. මට මුලින්ම ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයා විදිහට කටයුතු කරන්න ලැබෙන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ 'දැහැන' චිත්‍රපටයේ. ඊට පස්සේ චිත්‍රපට පනස් හතරක විතර සහාය අධ්‍යක්‍ෂවරයා විදියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.

පූජා චිත්‍රපටය නිසා ඔබගේ හීනයක් හැබෑ වෙනවා නේද?

ඔව් කොළඹට ඇවිත් වසර හතරකට පසුව තමයි පූජා චිත්‍රපයේ මුහුරත් උළෙලේදී මම ප්‍රිය කරන ගාමිණි, මාලනි, විජය කියන තුන්දෙනාම දකින්න ලැබුණේ. මගේ අධිෂ්ඨානය වෙලා තිබ්බා කවදාහරි මම ආදරය කරන ඒ තුන්දෙනාව දැකබලා ගන්න. ඔවුන් එක්ක කතා බහ කරන්න. ඔවුන් එක්ක රඟපාන්න. මුහුරත් උළෙලේදී ධර්මසිරි ගමගේ මහත්තයා මාව ගාමිණි ෆොන්සේකා මහත්මයාට හඳුන්වලා දුන්නේ. "මේ මගේ දරුවෙක්. ඔයාට ගොඩක් ආදරෙයි" කියලා. එදා ගාමිණි ෆොන්සේකා කිව්වා "අයිසේ සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදියට කටයුතු කරන්න නම් හොඳ බුද්ධියක්, කැපවීමක් සහ ඉවසීමක් තියෙන්න ඕනේ. ඒක තිබ්බොත් හොඳ ගමනක් යන්න පුළුවන්" කියලා.

ඔබ පසුගිය කාලේ චිත්‍රපට දෙකකට අධ්‍යක්‍ෂණයෙන් දායක වුණා. රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට ඇවිත් මේ ආපු දුර ගැන සෑහීිමකට පත්වෙනවද?

අනිවාර්යයෙන්ම සෑහීමකට පත් වෙනවා. සිනමාව ගැන මට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම මුලින් වින්ද දුක් ගැහැට මතක් වෙද්දී අද මම ඉන්න තැන ගැන සතුටුයි. මම එදා ගාමිණී, මාලිනිගේ චිත්‍රපට බලනකොට ප්‍රේක්‍ෂකයෝ විසිල් ගගහා, අත්පුඩි ගගහා තමයි චිත්‍රපට නැරඹුවේ. මම අධ්‍යක්‍ෂණය කළ ප්‍රවේගය සහ මායා කියන චිත්‍රපට ප්‍රේක්‍ෂකයෝ නැරඹුවෙත් විසිල්, අත්පුඩි ගසමින්. සිනමා ශාලාවල කළමනාකරුවෝ පවා මට කිව්වා වසර තිහකට පසුව තමයි ප්‍රේක්‍ෂකයෝ අත්පුඩි ගගහා විසිල් ගගහා චිත්‍රපයක් බැලුවේ කියලා.

සිනමා නිර්මාණ කොතෙක් හැදුවත් ප්‍රේක්‍ෂකයා සිනමාවට ළං කර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. සිනමාවත් එක්ක ඉන්න පුද්ගලයෙක් විදියට ඔබට මේ වෙනුවෙන් තියෙන යෝජනා මොනවද?

ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ගේ සිනමා රසාස්වාදය සඳහා ගුණාත්මක බවින් යුත් හාස්‍යය, භීතිය, කුතුහලය, ආදරය පිළිබිඹු වන පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපට වැඩි වැඩියෙන් නිර්මාණය වෙන්න ඕන. නගරවල, ගම්වල ඩිජිටල් තාක්‍ෂණයෙන් යුත් අලුත් සිනමා ශාලා ඉදිකළ යුතුයි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. නිෂ්පාදකවරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා බෙදා හැරීමේ ආයතන සහ සිනමා ශාලා හිමියන්ට මීට වැඩිය අනුග්‍රහයක් ලැබිය යුතුයි. නිෂ්පාදකවරුන් රැකුණොත් තමයි අනෙක් ශිල්පීන්ට වැඩ ලැබෙන්නේ. ඒ වගේම ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනියන්න පුළුවන් නිර්මාණ කරන්න පසුබිම හැදෙන්නේ.

අධ්‍යක්‍ෂවරයෙක් වුණ නිසා සහාය අධ්‍යක්‍ෂණයෙන් අයින් වෙනවද?

නැහැ. මම තවදුරටත් සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කරන්න කැමැතියි. ඒ තුළින් මම අසීමිත තෘප්තියක් ලබනවා. මම පසුගිය කාලයේ චිත්‍රපට හයකට සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වුණා. මේ අවුරුද්දේ චිත්‍රපට හතරක් සහාය අධ්‍යක්‍ෂණය කරන්න භාරගෙන තිබෙනවා. මගේ එකම බලාපොරොත්තුව තමයි චිත්‍රපට සියයක සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කිරීම.

එතකොට ආයෙත් සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරන්නේ නැද්ද?

මායා, ප්‍රවේගය කියන චිත්‍රපටවලට හම්බුණා වගේ හො¼ද නිෂ්පාදකවරයෙක් හමුවුණොත් තව චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන්න බලාපොරාත්තු වෙනවා.

මතක් කරන්නත් පිරිසක් ඇති?

මට සිනමාවේ ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කරන්න ඉඩ සලසා දුන් ප්‍රියන්ත කොළඹගේ මිත්‍රයාට වගේම මා සමඟ එකට වැඩ කළ සියලුම අධ්‍යක්‍ෂවරුන්ටත්, ප්‍රවේගයේ සහ මායා චිත්‍රපටවල නිෂ්පාදකවරුන් වන ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ටත්, මගේ තිස්වසරක කලා දිවියට උදව් කරපු සියලුම කාර්මික ශිල්පීන්ටත් මගේ ස්තුතිය පුදකරන්න කැමැතියි.

නිසල් උවිඳු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්