අනතුරකට ලක්වූ කපිල රෝහලේ සිට හදගැස්මට කතා කරයි

  👤  2818 readers have read this article !
Published by : MB WEB 2017-04-05 16:05:09

ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා නේද?

ඔව්. ලොකු අනතුරකට ලක්වුණා. තාම ඉන්නේ කොළඹ ජාතික රෝහලේ.

කොහොමද ඒ අනතුර සිද්ධ වුණේ?

13 වැනිදා සහ 14 වැනිදා මට ෂූටිං තිබුණා වාරියපොළ හිරිපිටිය කියන ගමේ. ඒ ෂූටිං ඉවර කරලා පහුවදා ෂූටිංවලට කොළඹ එන්න ඕනෙ නිසා 6.10ට විතර එහෙන් පිටත් වුණා. ඒ පාර කෙළින්ම වැටිලා තියෙන නිසා වාහනත් වේගයෙන් එනවා. මම මගේ බයික් එකේ එද්දි මට පෙනුණා ටිපර් එකක් වේගයෙන් මගේ ඉස්සරහට එනවා. ඒ නිසා මම මගේ බයික් එක නතර කළා. ඒත් ටිපර් එක මගේ බයික් එකේ හැප්පුණා.

අනූ නවයෙන් නේද බේරිලා තියෙන්නේ?

ඔව්. මගේ දකුණු කකුල හතරට කැඩිලා තියෙන්නේ. උකුල් ඇටයටත් හානි වෙලා. මට පොඩ්ඩක්වත් ඇඟ කෙළින් කරන්න බැහැ. ඇඳ ළඟ තියෙන දම්වැලට වාරු දීලා තමයි පොඩ්ඩක් හරි ඇඟ කෙළින් කරගන්නෙ. කෑම බීම ගන්නෙත් ටිකක් අමාරුවෙන්. ඉදිරියේදී මට මොනවා වෙයිද කියලා නම් කියන්න අමාරුයි.

අනතුර වුණ වෙලාවේ ඔබට ප්‍රදේශවාසීන්ගෙන් ලොකු සහායක් ලැබුණාලු නේද?

රංගන ශිල්පියෙක් කියල හඳුනගත්ත ගමන් හිරිපිටිය කියන ගමේ වැසියන් මාව කුරුණෑගල ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එතැන හිටපු අය මට ගොඩක් උදවු කළා. මාව කොළඹ රෝහලට මාරු කළේ එතැනින්. පාළු තැනක වගේ මේ අනතුර සිදුවුණා නම් මං අද මෙතැන නොසිටින්න තිබුණා. ටිපර් රථයක ගැටිලා ජීවිතය බේරාගත්තු එකත් ලොකු හාස්කමක්.

වෛද්‍යවරු මොනවද කියන්නේ?

ඔවුන් කියනවා කකුලට තව ශල්‍යකර්මයක් සිදුකළ යුතුයි කියලා. මගේ කකුලට දාලා තිබෙන උපකරණය රු. 67,000ක්. ඒ වගේ මුදලක් අද කාලේ හොයන එක හරිම අමාරු වැඩක්. පාදය සුව වෙන්න යන කාලයක් නම් කියන්න බැහැ.

කලා ක්ෂේත්‍රයේ හිටපු යහළු මිත්‍රයන් ඔබව බලන්න ආවද?

මට සමීප පිරිසක් මට උදවු කරනවා. ඔවුන් මාව බලන්නත් ආවා. නමුත් කලා ලෝකයේ දැවැන්තයන් අසනීප වුණාම බලන්න යනවා වගේ හෙළිකොප්ටර්වලින් බැහැලා නම් කවුරුවත් මාව බලන්න ආවේ නැහැ. අපි ඉතින් පුංචි මිනිස්සුනේ. මට එයාලගේ ගරු බුහුමන් අවශ්‍යත් නැහැ.

උදවු උපකාරත් ලැබුණද?

මගේ පවුලේ අය තමයි ඉතින් මට ගොඩක්ම උදවු කරන්නේ. ලක්ෂ්මන් කියලා මගේ මල්ලි කෙනෙක් මට ගොඩක් උදවු කරනවා. මගේ සමීප පිරිසගෙන් උදවු ලැබෙනවා.

ඔබත් එක්ක හිටපු පිරිස දුකේදීත් ඔබත් එක්ක ඉන්නවා කියලා දැනෙනවද?

පද්මසිරි කොඩිකාර, රන්ජන් රාමනායක, රොජර් සෙනෙවිරත්න වගේ කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මගේ සැපදුක් අහනවා දුරකතනයෙන් පවා කතා කරලා. දිල්හානි අශෝකමාලාත් දුරකතනයෙන් මගේ දුක සැප විමසුවා. නමුත් කිසිම කෙනකුට මම ‍ෙදාස් කියන්නේ නැහැ. දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ලෙඩෙක් බලන්න වුණත් කාලය වෙන් කරගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා.

දැන් නිර්මාණ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න බෑ නේද?.

අනතුර වෙන්න කලින් මම නිර්මාණ තුනකට සම්බන්ධ වෙලා හිටියා. මම ජීවිත කාලෙම කළේ කලා කටයුතු. මට දැන් ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැහැ. මම ලොකු අමාරුවක වැටුණේ. මට වෙන ආදායම් මාර්ග නැහැ.

මේ වෙලාවේ ඔබගේ ප්‍රේක්ෂකයන්ට සහ යහළුවන් සහ හිතවතුන්ට මොනවද කියන්න තිබෙන්නේ?

මං සියලු දෙනාගෙන්ම ඉල්ලන්නේ මාව බලන්න එන්න. ඒ නැතත් දුරකතන ඇමතුමක්වත් දෙන්න. ඒක මට ලොකු ශක්තියක්.

ඒ වගේම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මගේ ජීවිතය බේරුවාට. මනුස්සයකුගේ දෛවය, කර්මය වෙනස් කරන්න අපට බැහැ. සමහරු මට වෙච්ච දේ පිළිබඳ සතුටු වෙනවත් ඇති. නමුත් මම හරිම සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම බයික් පදින තරුණ පිරිසට මම කියන්නේ වේගයෙන් යන්න එපා. අපි දන්නෙ නෑ ඉස්සරහින් වාහනය පදවගෙන එන්නේ කොහොම කෙනෙක්ද කියලා. අපි පරිස්සම් වෙන්න ඕනේ.

ඔබට මේ උදවු අවශ්‍ය වෙන වෙලාවක් නේද?

ඇත්තටම මම මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නේ. මං වෙන රැකියාවක් කළේ නැහැ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. රඟපෑමෙන් තමයි මම මගේ ජීවන මාර්ගය පවත්වාගෙන ගියේ. ඉතින් මට මුදල් කියන දෙය ගොඩක් වැදගත්. මගේ බයිසිකලයටත් ගොඩක් හානිවෙලා තිබෙනවා. මම හැමතැනම ගියේ බයිසිකලයෙන්. මම තිරයේදී නපුරු චරිත කළාට මම හරිම සංවේදී කෙනෙක්. පාරේ බලු පැටියෙක් මැරිලා ඉන්නකොට අතට ෂොපින් එකක් දාගෙන ඒ සතාව පාරෙන් අයින් කරලා ගිහින් තිබෙනවා මම. නමුත් මාව හප්පපු කෙනා මාව බලන්නවත් ආවේ නැහැ. මට මේ දේවල් මතක් වෙනකොට ඇඬෙන වාර අනන්තයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
පහන් විජේසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්