මුළු එංගලන්තයම කලබලයට පත් කළ අඳුරු රාජධානියක රහස් ගොන්නක් එළියට

  👤  2101 readers have read this article !
Published by : MB WEB 2017-04-03 15:44:57

පරිවර්තන - ප්‍රේමචන්ද්‍ර අල්විස්

බි්‍රතාන්‍යයේ අඳුරු යුගයේ හුදෙක් නාමික වශයෙන් පමණක් පැවැති "රෙගඩ් රාජධානිය" එක්සත් රාජධානියේ මධ්‍ය කාලීන සමයේ මුල් කොටසේදී පැවැති පද්‍ය සාහිත්‍යයට පිරිනැමුණු දායකත්වය සම්බන්ධයෙන්ද ප්‍රකට වූයේය. යූරීන් නමැති රජකු විසින් පාලනය කරන ලදැයි සැලැකෙන රෙගඩ් රාජධානියට එවැනි ගෞරවයක් හිමිව තිබුණත් එය පිහිටි තැන ක්‍රිස්තු වර්ෂයෙන් 600 වන තෙක්ම ශත වර්ෂ ගණනක් තිස්සේම රහසක්ව පැවැතියේය. ඩම්ෆී්‍රස් හා ගැලෝවේ පෙදෙස්හි එම රාජධානිය දැන් තමන්ට හමුවී ඇතැයි පර්යේෂකයෝ දැන් විශ්වාස කරති. ඒ විශ්වාසය තහවුරු වුවහොත් ස්කොට්ලන්තය, එංගලන්තය හා වේල්සය යන රාජධානි සඳහා පදනම සකස් වුණු යුගය පිළිබඳ තමන්ගේ දැනුම වර්ධනය වනු ඇතැයිද පර්යේෂකයෝ කියති.

වර්ණ ගැන්වුණු මිනිස්සු බේ්‍රව්හාර්ට්හි මෙල් ගිබ්සන්ගේ "නිල් මූණු චිත්‍රය" මිනිසුන් ඔවුන්ගේ සිරුරු පාට කර ගත්හයි සැලැකෙන "පික්ටිෂ්" සම්ප්‍රදාය පිළිබඳ ඉඟියකි. එහෙත් පික්ටිෂ් යනුවෙන් සැබැවින්ම හැඳින්වී ඇත්තේ පස්වැනි සියවස වන තෙක්ම සම්පූර්ණ නිරුවතින් සටන්වල යෙදුණවුන් බවද වාර්තා වී තිබේ. ජනතාව හැඳින්වීම සඳහා යෙදෙන 'පික්ටි' යන පදයෙන් අර්ථගැන්වෙන්නේ "වර්ණ ගැන්වුණු මිනිස්සු" යන්නය. ඒ මිනිසුන් ඔවුන්ව හඳුන්වා ගත්තේ කෙසේද යන්න අප්‍රකටය. නිරුවත්ව සටන්වල යෙදීම නිසා විශේෂයෙන්ම ස්කොට්ලන්ත ශීත දේශගුණය තුළ, කෘෘරත්වය අතින් ඔවුනට හිමිව තිබුණු කීර්තියට හානියක් නොවූයේය. පික්ටි ගෝත්‍රිකයන් ස්කොට්ලන්තයේ උතුරු ෆර්ත් දිස්ත්‍රික්කය අල්ලාගෙන සිටි අතර, ඒ නිසාම එම දිස්ත්‍රික්කය අල්ලා ගැනීමට විශාලතම රෝම සේනාංකයටද නුපුළුවන් විය.

පික්ටිෂ් ජනතාව හා ඔවුන්ගේ දකුණු දෙස අසල්වැසියන් වූ බි්‍රතාන්‍යයන්ද අතර අනේ‍යාන්‍ය ක්‍රියාකාරිත්වය කෙබඳු වීද යන්න දීර්ඝ කාලයක් තිස්සේ වාද විවාදවලට හේතු වූවකි. කෙටි කාලයක් තුළ හෝ ඔවුන් අනේ‍යාන්‍ය වශයෙන් සුහදව සිටින්නට ඇති බව ගැලෝවේහිදී පර්යේෂකයනට හමුවී ඇති සාධකවලින් පෙනී යන බව කියැවෙයි. රෙගඩ් රාජධානිය පිහිටා තිබුණේ කාර්ලයිල් හා කම්බි්‍රයා අවට යැයි මීට කලින් ඉතිහාසඥයෝ බොහෝ දෙනෙක් කීහ. එහෙත් ඩම්ෆී්‍රහි හිල්ෆෝඩ් නම් ස්ථානයේ සහ ගැලෝවෙහි කැණීම් කළ "ගාර්ඩ්" පුරාවිද්‍යායතනයේ පර්යේෂකයන් විශ්වාස කරන පරිදි රෙගඩ් රාජධානිය ඒ ස්ථානයෙහිම තිබෙන්නට ඇත. එම කැණීම් කටයුතු මෙහෙයවූ රොනන්ටූලිස් මෙසේ ප්‍රකාශ කරයි. "අප මෙතැනට පැමිණියේ මෙහි ගජ ගල් තලාවක තිබෙන පික්ටිහි සංකේත නිසායි. එම සංකේත සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දකුණු කලාපයෙන් බොහෝ අෑත පිහිටි මේ ප්‍රදේශයෙහි එය විශේෂත්වයකි.

2012දී පර්යේෂකයෝ ගැලෝවේ පික්ටිෂ් ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් මෙම පික්ටිෂ් කැටයම් අධ්‍යයනය ආරම්භ කළහ. රොනන් ටූලිස් කියන පරිදි මෙම ගල් කැටයම් රාජකීය මූලස්ථානයක් සමඟත්. ක්‍රිස්තු වර්ෂයෙන් 600 පමණ වන කාලයේදී ගැලෝවේහි බි්‍රතා්‍යයන්ගේ උත්සව පැවැත්වුණු ස්ථානයක් සමඟත් බැඳෙන බව කැණීම්වලදී අනාවරණය වුණු පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු වෙයි. ගැලෝවේ යනුවෙන් හැඳින්වෙන්නට ඇත්තේ රෙගඩ් රාජධානියේ අවසාන අඳුරු යුගය විය හැකි යැයි ස්කොට්ලන්තයේ හා උතුරු එංගලන්තයේ සමකාලීන සමානකම් පැවැති තැන්වල කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් පෙනී ගොස් තිබේ. "ට්‍රස්ටි හිල්" කන්දේ මුදුනට දැව ගරාදි වැටකින් ගල් වැටියකින්ද ආරක්ෂිතවද කඳු බෑවුමේ පහළ කොටස විශේෂ ඇවුරුමකින් ආරක්ෂිතවද තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. මෙවන් ආරක්ෂක විවිධානවලින් පෙනී යන පරිදි මෙම කන්ද ඒ අවට පෙදෙසට කේන්ද්‍රගත බල කොටුවක්ව තිබෙන්නට ඇතැයිද ඔවුහු විශ්වාස කරති.

රෙගඩ් රාජධානිය

රෙගඩ් යනු බි්‍රතාන්‍යයේ අඳුරු යුගයේ පැවැතිණැයි සැලැකෙන අතිශය ගුප්ත රාජධානියකි. එය හයවැනි සියවසේ අවසාන කාලයට අයත්ය. එහි ජනතාව බි්‍රතාන්‍යයෝය. ඔවුහු ඉපැරැණි "වේල්ස්" භාෂාව කතා කළහ. මෙහි පැවැති සාහිත්‍යයෙන් වැඩිතම කොටස රජුගේ බල පරාක්‍රමය වර්ණනා කරනු පිණිස ලියැවුණු පද්‍යාවලියෙන් සමන්විතය. රෙගඩ්හි යූරීන් නමැති රජුත් ඔහුගේ පුත් ඔවේන් නමැත්තාත් එම පද්‍යවලට ප්‍රස්තුත වී ඇත. රෙගඩ් රජ්‍යය එම විද්‍යා අතින් මෙන්ම ස්කොට්ලන්තයේ කිතුනු සිහිවටන අතින්ද ප්‍රකටය. "ලැටිනස් ශෛල" නමින් හැඳින්වෙන එම සිහිවටන ක්‍රිස්තු වර්ෂයෙන් 450දී පමණ ලැටිනස් නමැත්තාත් ඔහුගේ දියණියත් වෙනුවෙන් විතෝර්න්හි ඉදිවී තිබේ.

ස්කොට්ලන්තයේ පළමු වැනි රදගුරු නිනියාන්, එතුමාගේ දේවස්ථානය විතෝර්න්හි පිහිටුවා ගෙන එහි සිට ස්කොට්ලන්තය පුරා කිතුනු දහම පැතිරවූයේය. විතෝන් ප්‍රන්තය යුරෝපා මහාද්වීපයත් රෙගඩ් රාජධානියත් සමඟ ඉතා පුළුල් සම්බන්ධතා පවත්වා ඇති අතර නැඟෙනහිර රෝම අධිරාජ්‍යයෙන් වයින් හා කුළුබඩුද බටහිර ප්‍රංශයෙන් ආහාර ද්‍රව්‍ය හා සියම්ද රයින්ලන්තයෙන් සැරසිලි සහිත වීදුරුද ගෙන්නා ගෙන ඇත. ට්‍රස්ටිහිල් විනාශ වීමෙන් රෙගඩ් රාජ්‍යයේ බිඳවැටීමද පිළිබිඹු වන අතර ක්‍රිස්තු වර්ෂයෙන් හත්වැනි සියවසේදී දකුණු ස්කොට්ලන්තයෙන් බොහෝ කොටසක් නොදම්බි්‍රයා ඇංග්ලියන් රාජධානිය බවට පත්විය.

ට්‍රස්ටිහිල් රජ පවුල එහි සාමාජිකයන්ට අමතරව, ආරක්ෂක භටයන්, මුරකරුවන්, විවිධ නිපුණතා සහිත ශිල්පීන් හා මෙහෙකරුවන්ගෙන්ද සමන්විතව තිබෙන්නට ඇතැයි ටූලිස් "මේල් ඔන්ලයින්" සේවයට පැවැසීය. එහි තිබුණු සම්පත් පිළිබඳ සාධක බොහෝ ගණනක් තමන්ට දක්නට ලැබිණැයි පැවැසූ ටූලිස් රන්, රිදී, තඹ භාණ්ඩ එහි තිබුණු බව මෙන්ම යුරෝපා මහාද්වීපයෙන් මැටි බඳුන් එහි ගෙන්නා ඇති බවත් එම සාධකවලින් තහවුරු වන බවද ප්‍රකාශ කෙළේය. එපමණක් නොව මෙම රජ පවුල බටහිර බි්‍රතන්‍යය, අයර්ලන්තය හා යුරෝපයද සම්බන්ධ වූ වෙළෙඳ ජාලයක කොටස්කරුවකුව සිටින්නට ඇතැයිද පර්යේෂකයෝ කියති. ට්‍රස්ටිහිල්හි වැසියන් කෘෂි කර්මාන්තයෙහි යෙදී නැතැයි ස්කොට්ලන්ත පුරාවිද්‍යා මණ්ඩලයේ ආචාර්ය ක්‍රිස්ටොෆර් බෝලස් කියයි. එහෙත් ඔවුන් සතුන් ඇති කිරීමත් ඛනිජ වර්ග හා දැව යනාදී ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමත් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වා ඇති බව මෙන්ම ෆ්ලීට් නිම්නයේ සිට ගංමෝය දක්වා විහිදුණු විශාල ප්‍රදේශය ඔවුන් පැතිර සිටින්නට ඇති බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. තෑගි බෝග පිරිනැමීම. ආරක්ෂාව පිළිබඳ ප්‍රතිඥා සහ ආක්‍රමණවලදී පැහැර ගන්නා ලද භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන්ද මෙහි පාලකයන් ඔවුන්ගේ ප්‍රදේශයේ ජනතාව පමණක් නොව ඉන් බැහැර පෙදෙස්වල ජනතාවද නම්මා ගෙන ඒ මඟින් පාලනයක්ද පවත්වාගෙන ගිය බවත් සඳහන් වෙයි.

ඇංග්ලෝ - සැක්සන් මාදිලියෙන් නිමැවුණු ලෝකඩ ආභරණ ට්‍රස්ටිහිල්හිදී හමුවී තිබේ. මුලදී මෙම ආභරණ ඊයම් මුසු පිත්තලෙන් නිමවා රන් හා රිදී ආලේප කරන ලද බවත් මෙහිම වැඩපොළවල මේවා නිර්මාණය කරන්නට ඇති බවත් පැහැදිලිව පෙනේ යැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති.

බි්‍රතාන්‍යයේ අන්ධකාර යුගය පිළිබඳ අලුත් සිතියමක් පර්යේෂකයන් විසින් සම්පාදනය කරන ලද අතර රෙගාඩ් රාජධානිය හා ඒ අවට තවත් රාජධානි කීපයක්ද ඊට ඇතුළත් විය. සිතියම සකස් කරන ලද්දේ හය වැනි සියවසේ හා හත් වැනි සියවසේ මුල් කාලයේදීය. ට්‍රස්ටිහිල්හි දක්නට ලැබෙන සංකේතවල සාහිත්‍යමය අර්ථ හඳුනා ගැනීමට හැකි නොවනු ඇති බවත් "පික්ටිෂ් රොසේටා" සෙල්ලිපියක් එහි නැති බවත් ටූලිස් මහතා ප්‍රකාශ කරයි. එහෙත් ස්කොට්ලන්තයේ මධ්‍ය කාලීන යුගයේ මුල් කොටසේ රාජ්‍යත්වය පවත්වාගෙන යෑම සඳහා උපකාරි වූ මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ පිළිබඳ පැහැදිලි සාධකද එයින් දැක්වෙන බවත් ඔහු සඳහන් කරයි.

පික්ට්ලන්තයෙන් බැහැර පික්ටිෂ් සංකේත දක්නට ලැබෙන එකම තැන "එඩින්බර්ග් කාසල් රොක්"ය. එය ක්‍රි.ව. හයවැන්නේදී සහ හත්වැන්නේ මුල් කාලයේදී රාජකීය මූලස්ථානයක්ව පැවැති බව පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධකවලින් සනාථ වී තිබේ. ස්කොට්ලන්තය එංගලන්තය හා වේල්ස් යන රාජධානි සඳහා පදනම සකස් වෙමින් පැවැති යුගයේ ක්‍රියාත්මක වුණු බලය, දේශපාලන, ආර්ථිකය හා සංස්කෘතිය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරන නවතම පුරාවිද්‍යාත්මක සාධක ට්‍රස්ටිහිල්, රෙගාඩ් රාජධානියේ මූලස්ථානය වශයෙන්ද ගැලෝවේ එම රාජධානියේ හදවත වශයෙන්ද පැවැති බවට සාධක 2012දී කරන ලද කැණීම්වලින් පෙනී යයි. ආගමික, සංස්කෘතික හා දේශපාලන කෙන්ද්‍රස්ථානයක් වශයෙන් පැවැති ට්‍රස්ටිහිල් වෙතින් ස්කොට්ලන්ත සංස්කෘතියට පිරිනැමුණු දායකත්වය කෙරෙහි නිසි අවධානයක් සමහර විට යොමු නොවුණා විය හැකිය.

මෙකී සොයා ගැනීම් "ගෙවී ගිය අන්ධකාර යුගයේ රෙගඩ් රාජධානිය නමැති ග්‍රන්ථයෙහි ඇතුළත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්