ඉසුරුගේ පිටේ කොටපු ටැටු වෙනස් වෙලාද?

  👤  3081 readers have read this article !
Published by : MB WEB 2017-04-04 11:21:17

ඉසුරු හා හා පුරා කියලා සිනමාවෙන් එළියට ඇවිත්නේ?

මම ටෙලි නාට්‍ය නළුවෙක් විදියට ක්‍ෂේත්‍රයට එන්නේ සිනමා නළුවෙක් වීමේ බලාපොරොත්තුවත් තියාගෙන. ඒ බලාපොරොත්තුව පල දරමින් මම සම්බන්ධ වුණු රන් සයුර චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඊට අමතරව 'මා', නිදහසේ පියා, සිනේමා සහ කිඩ්නැප් කියන චිත්‍රපටවලටත් මම දායක වුණා.

ඒ කියන්නේ ඉසුරුට මේ ලබලා තියෙන්නේ සිනමා සිහිනය සැබෑවෙන කාලයක්?

ඔව්. සිනමා නළුවෙක් වෙනවා වගේම මම කැමැතියි චරිතාංග නළුවෙක් විදියට ඉදිරියට යන්න. සිනමාවේ මගේ වීරයා තමයි ජෝ අබේවික්‍රම. මම කැමැතියි ඒ වගේ රංගන ශිල්පියෙක් වෙන්න.

සිනමාවෙන් එළියට ආවම සතුටු හිතෙන ප්‍රතිචාර ලැබුණද?

ඔව්. මම මේ ළඟදී කිඳෙල්පිටිය ප්‍රදේශයට ගියාම ඒ ප්‍රදේශයේ හිටපු ලොරියක වැඩ කරන සහෝදරයෙක් මට ඇවිත් කිව්වා. 'අයියා නේද රන්සයුර චිත්‍රපටයේ ඉන්නේ. මරු ෆයිට් ටික අයියේ' කියලා. ඔහු තමයි මගේ පළමු සිනමා රසිකයා.

සිනමාවේ පෙම්වතා, වීරයා වෙන්න කැමැත්තක් තියෙනවද?

මම ටෙලි නාට්‍යවල පෙම්වතා, දුෂ්ටයා, කවටයා, වගේ විවිධ චරිත නිරූපණය කළා. සිනමාවෙන් මම මුලින්ම එළියට එන්නේ විලන් විදියට. මම කොටුවෙන්න කැමැති නැහැ. ශාරුක් ඛාන් මුලින්ම රඟපාන්නේ ප්‍රතිවීරයා විදියට. ඔහු ඒ චරිතය කරන්න බෑ කිව්වා නම් අද ඉන්න සුපිරි තරුව නැහැ. මමත් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉදිරි ගමන හදාගන්න කැමැතියි. ඒකට උදවු කරන එක අධ්‍යක්ෂවරුන්ගේ අතේ තියෙන්නේ.

ඔබට සුපිරි තරුවක් වෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. මට සුපිරි තරුවක් වෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. හැබැයි කැමරාව ඉස්සරහා රඟපාලා සුපිරි තරුව වෙන්න බෑ. ඒකට අපේ ජීවිතෙත් හදාගන්න දේවල් තියෙනවා. සුපිරි තරුවක් කියලා රෑට නයිට් ක්ලබ් ගිහින් ගහගත්තොත්, වාහනය ඇඟට කැපුවා කියලා මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න ගියොත්, පොළොවට වඩා අඩි ගාණක් උඩින් හිටියොත් සුපිරි තරුවක් වෙන්න බෑ.

ඒ කියන්නේ, ඉසුරු සුපිරි තරුවක් වෙන්න නළු ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතෙත් මේන්ටේන් කරනවා වගේ?

ඔව්. ඒක පැහැදිලිවම කරන්න වෙනවා. අපිට කැප කරන්න දේවල් තියෙනවා. සමහරු ඒක වරද්ද ගන්නවා. මාව දැන් ගොඩක් අය දන්නවා. කලාකරුවෙක් කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. ඒ නිසා අපි ආදර්ශව ඉන්න ඕන. ගමේ හිටපු කවුරුත් නොදන්නා ඉසුරු දික්කසාද වුණාට කවුරුත් දන්නේ නෑ. හැබැයි දැන් මම විවාහ වෙලා දික්කසාද වුණොත් ඒක ගොඩක් අය කතා කරන මාතෘකාවක්. ඒ නිසා ගොඩක් හිතලා මතලා වැඩ කරන්නෙ.

සිනමා සිහිනය හැබෑ වුණ නිසා පුංචි තිරය අමතක කරලා ඉසුරු සිනමාවෙම රැඳෙයිද?

මගේ වෘත්තිය රංගනය. මේ ක්‍ෂේත්‍රයෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඉහළයි. මම වාහනයකින් යන්නේ එන්නේ, අඳින්නේ පලඳින්නේ, මගේ අම්මා තාත්තා සතුටින් ඉන්නේ මම උපයන සල්ලිවලින්. ඒ නිසා මට වේදිකාවද, ටෙලිද, සිනමාවද කියන දේ අදාළ නැහැ. මට යම් නිර්මාණයක කරන්න තියෙන කාර්ය භාරයයි වැදගත්. හැබැයි මම කවදාවත් මම නොදන්නා දෙයක් කරන්න යන්නේ නැහැ.

චරිතාංග නළුවෙක් වෙලා යන්න හදන ගමනේදී සම්මානනීය බලාපොරොත්තුත් ඇති නේද?

සම්මානවලට ආසයි. සම්මාන කියන්නේ අපිට ලැබෙන උත්ප්‍රේරකයක්. හැබැයි ඒවා නොලැබුණා කියලා කලකිරෙන්න අවශ්‍ය නැහැ.

සමහරු කියනවා ඉසුරු දැන් වෙනස් වෙලා කියලා?

ඉස්සරට වඩා මම වයසයි. මහතයි. අඳින පලඳින විදිය වෙනස්. ඒක තමයි වෙලා තියෙන වෙනස. තියෙන කාර්යබහුලත්වය එක්ක යම් යම් දේවල් මඟහැරෙන්න පුළුවන්. එතකොට සමහරු හිතන්නේ මම ඇඳගෙන ඉන්න කෙනෙක් කියලා. ඒක ඔවුන්ගේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්. මම කියන්න තියෙන දේ වුණත් මූණටම කියනවා. ඉතිං ඒ දේවල් එක්ක මම වෙනස් වෙලා කියලා සමහරු කියනවා ඇති.

ඉසුරුගේ ජීවිතේ දැන් විශේෂ කෙනෙක් ඉන්නවා කියලත් ආරංචියි?

හැම කෙනෙක්ම මට විශේෂයි. මට ආදරය කරන කෙනෙක් ඉන්නවද කියන. එක පෞද්ගලික කාරණයක්. මට පෙම්වතියක් ඉන්නවද කියන දේ මගේ ප්‍රේක්ෂකයන්ට අදාළ නැති වෙයි. ඒක දැනගන්න ඔවුන් කැමැති ඇති. හැබැයි මම හිතන්නේ ඔවුන් ඒක දැනගන්න අවශ්‍ය නැහැ.

පිටේ කොටලා තිබ්බ ටැටූ එකට මොකද වුණේ?

එක තාම තියෙනවා. මගේ පිටේ කොටලා තියෙන්නේ පිහාටුවක් සහ කුරුල්ලෝ ටිකක්. හිරවෙලා ඉඳලා නිදහස් වෙනවා කියන අදහස දෙන්න තමයි ඒ පණිවුඩය කොටලා තියෙන්නේ.

හැබැයි කලින් පිටේ කොටලා තිබ්බේ නමක්නේ?

නමක් කොටලා තිබ්බා නම් ඒ නම දැනුත් තියෙන්නෙ එපා යැ. සමහරු ඉතිං ඔය වගේ එක එක කතා කියනවා ඉතිං.

මොනවද ඉදිරි වැඩ?

මේ දවස්වල ගැමුණු මහරජ දෙවැනි කොටසේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. තවත් ටෙලියකට ඉදිරියේදී සම්බන්ධ වෙනවා. හඬ කැවීම්වලටත් සම්බන්ධ වෙනවා. ගායනයට පොඩි හැකියාවක් තියෙන නිසා ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ වැඩ කටයුතුවලට තමයි සම්බන්ධ වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්