ඔටුනු හොරා වේදිකාවට

  👤  1921 readers have read this article !
Published by : MB WEB 2017-03-18 14:48:39

අලුත්ම වේදිකා නාට්‍ය "ඔටුනු හොරා" හි වැඩකටයුතු ගැන මුලින්ම කියමු නේද?

"ඔටුනු හොරා වේදිකා නාට්‍යයේ පිටපත ලිව්වේ ප්‍රියන්ත රණසිංහ. අපි ජනතාවට කියන්න හදන්නේ හිතෛෂීව ඉන්න මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි කියන කතාව. තමන්ට ළඟින්ම ඉන්න කෙනා තමයි හුඟක් වෙලාවට වළ කපන්නේ. මේ නාට්‍ය තුළ රාජකීය මුහුණුවරින් අපි ඒ පිළිබඳව කතා කරනවා.

නාට්‍ය සඳහා සහභාගි වන ශිල්පීන් කවුද?

ගාමිණි හෙට්ටිආරච්චි රජුගේ චරිතයට පණ පොවනවා. ලක්ෂිකා ෆොන්සේකා, උදය කුමාරි රණසිංහ, ලොයිඩ් ගුණවර්ධන, සජීව මල්මාලආරච්චි, ප්‍රියන්ත රණසිංහ, ඩිල්කි මිහිරාජ්, ප්‍රියංකා ජයවර්ධන, සඳරුවනි රත්නායක, සම්මානි රත්නායක, සුසන්ත කරුණාරත්න යන ශිල්පීන් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

"ඔටුනු හොරා" මොන හැඩයේ නිර්මාණයක්ද?

නිර්මාණයේ හැඩය වර්තමානයට සහ අතීතයට ගැළපුවා. අතීත නාට්‍ය රීති, ක්‍රම සහ වර්තමාන තරුණ පරම්පරාව අතර ජනප්‍රිය රියලිටි කලාවත් නාට්‍ය තුළින් එකිනෙකට සම්බන්ධ කළා. ඒ නිසාම මේ නාට්‍ය බාල, තරුණ, මහලු ඕනෑම කෙනකුට එක සේ නරඹන්න පුළුවන් සරල නාට්‍යයක්.

වේදිකාවට ආසාව තිබුණත් බොහෝ ශිල්පීන්ට ඒ සඳහා වෙන් කළ හැකි කාලය ඉතාමත් අඩුයි. ඔබ වේදිකාව වෙනුවෙන් කාලය වෙන් කළේ කොහොමද?

ඇත්තටම ලොකු ගැටලුවක්. ඒක ආර්ථික වශයෙන් පවා බලපානවා. ඒ නිසා පෙර සූදානම අවශ්‍යයි. වැඩ කරන ප්‍රවීණයන් තුළ තිබෙන කැපවීමත් ඉතාම වැදගත් වෙනවා. ඔවුන් මට විශාල සහායක් ලබා දුන්නා. මේ කටයුත්ත සාර්ථක කර ගන්න ලැබුණු ඉහළම පිටුබලය ඔවුන්ගේ ඒ සහයෝගයයි.

ඔබේ නිර්මාණ හැකියාව පෙන්වන්න වේදිකාව තෝරා ගන්න හිතුවේ ඇයි?

මම වේදිකාවට ආදරෙයි. 1985 අග භාගයේදී තමයි මම රංගනයට පිවිසුණේ. මුලින්ම වේදිකාවට එන්න ලැබුණාට 1988 - 1989 කලබල සමයේ මට කලාව මඟහැරුණා. නැවත මම කලාවට එන්නේ 2002 වසරේ ටෙලි නාට්‍ය හරහායි. නමුත් වේදිකාව තුළින් ලබන සතුට, තෘප්තිය මිල කරන්න බැහැ.

අනෙක් නාට්‍ය සමඟ "ඔටුනු හොරා" ප්‍රේක්ෂකයන් අතරට යයිද?

දැඩි විශ්වාසයක් තියෙනවා ඒ ගැන. අද සමාජයට ගැළපෙන විදියට නාට්‍ය නිර්මාණය කළේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතාම විශිෂ්ටයි. ඒ නිසා ප්‍රේක්ෂකයන් අතර නාට්‍ය ඉහළම තැනක රැඳෙයි කියන විශ්වාසය මට තියෙනවා.

"ඔටුනු හොරා" නාට්‍ය රට වටා ගෙන යන්න අදහසක් තිබෙනවාද?

තියෙනවා. දැනටමත් අෑත ප්‍රදේශවලින් නාට්‍යයට ආරාධනා ලැබිලා තියෙනවා. මේ සිංහල අවුරුද්දෙන් පසුව අපිට ඒ ප්‍රදේශ කරා නාට්‍ය අරගෙන යන්න පුළුවන්. අපි මුලින්ම නාට්‍ය කුරුණෑගලදී ප්‍රදර්ශනය කළා. මේ මාසේ 24දා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණි රඟහලේදී නාට්‍ය නැවත වේදිකාගත වෙනවා.

දැන් දිගටම වේදිකා නාට්‍ය නිර්මාණය කරයිද?

වේදිකා නාට්‍යයක් කියන්නේ මූල්‍යමය වශයෙන් වාසියක් තියෙන දෙයක් නෙවෙයි. එහෙම හිතලා නාට්‍ය කළොත් වේදිකාවට සාධාරණයක් කරන්න බැහැ. මේක මගේ කුලුඳුල් නිර්මාණය. ඉදිරියේදී වේදිකාව වෙනුවෙන් තවත් හොඳ නිර්මාණ මගේ අතින් බිහිවේවි.

හංසි ආටිගල
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon