මිනිසුන් ඇසුරට හිත ගිය මුව දෙන මිහින්තලා බිම කෙම්බිම කරගෙන

  👤  1970 readers have read this article !
Published by : MB WEB 2017-03-14 08:05:09

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

ලොව ප්‍රථම අභය භූමිය හා නෑ හිතවතුන් සියලු දෙනා අතහැර දමා මිනිස් වාසයට පැමිණ මිනිසුන් සමඟ කිට්ටු හිතවතියක් ලෙස කාලය ගත කරන මුව දෙනක් පිළිබඳව නොදත් තොරතුරු රැසක් මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ අනාවරණය කළහ.

ලොව ප්‍රථම අභය භූමියේ ජීවත්වීම අනතුරුදායක බව දැනුණු නිසා දෝ එම වාසස්ථානය අතහැර වසර ගණනාවක් තිස්සේ මෙම මුවදෙන මිහින්තලය රජමහා විහාරය හා මිහින්තලය පොලිස් ස්ථානය සිය ආරක්ෂිත වාසස්ථානය ලෙස තෝරා ගෙන කාලය ගත කරයි. දහවල් කාලය පුරාවට මිහින්තලා නගරයේ රිසිසේ ඇවිදිමින් හොඳින් හෝ නරකින් කෑම බීම සොයා ගැනීමට ඇය සමත් බව නායක හිමිපාණෝ පැවැසූහ.

වසර ගණනාවක් තිස්සේ මිහින්තලය රජමහා විහාරය හා පොලිස් ස්ථානය සිය වාසස්ථානය කර ගනිමින් ජීවත්වන මුව දෙන දහවල් කාලයේ සිට සවස් වන තුරු මිහින්තලය නගරයේ සැරිසරමින් කෑම බීම ඉල්ලාගෙන කෑමට පුරුදු වී සිටින්නීය. කෑම බීම නොදුනහොත් බලහත්කාරයෙන් වෙළෙඳසල්වලට ඇතුළු වී ඇය කෑම ඉල්ලාගෙන කෑමටද පුරුදු වී සිටින බව රජමහා විහාරයේ කාර්ය මණ්ඩලය පැවැසීය. බනිස්, පාන්, ආප්ප, බත්, බිස්කට්, පලතුරු, එළවළු, රස කැවිලි හා කඩදාසි ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.

පෙරේදා (12දා) සවස රජමහා විහාරයට ගොස් නායක හිමිපාණන් සොයා උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ නොසිටි නිසා උන්වහන්සේ වැඩ සිටි දහම් පාසල් භූමියට පැමිණ නායක හිමිපාණන්ගේ සිරුරේ දැවටෙමින් සිටින අයුරු දැකගත හැකිවිය. චුටි මොකද මේ පැත්තේ බඩ ගිනි වෙලාද ආවේ යනුවෙන් උන්වහන්සේ විමසා මුව දෙනට කෑම සඳහා බනිස් ගෙඩි කිහිපයක් ගෙනවිත් දුන් අතර ඒවා කෑමෙන් පසුව මුළු දහම් පාසල් ගොඩනැඟිල්ල පුරා යමක් පරීක්ෂා කරන අයුරින් එහා මෙහා සැරිසරන අයුරු දැකගත හැකි විය.

මිහින්තල අභය භූමියේ ඉඳන් වසර කිහිපයකට ඉහතදී තමයි චූටි නගරයට ආවේ. මේ වෙනකම් සතාට කාගෙන්වත් හිරි හැරයක් නෑ. දවල් කාලයේ නගරය පුරාම ඇවිදිනවා. විහාරයට එනවා. කනවා බොනවා. හැන්දෑ වෙද්දී මිහින්තලය පොලිස් ස්ථානයේ බැරක්කයට යනවා. චූටිට ආරක්ෂාව දෙන්නේ සුනඛයෙකි. ඇයව සමහරුන්ට අල්ලන්නවත් දෙන්නෑ. බුරාගෙන පනිනවා. ඒකත් මහ පුදුම මිතුදමක්. මිහින්තලය පොලිස් ස්ථානයේ ආරක්ෂාව තියෙන නිසා කිසිම කෙනෙක් සතාට හිරි හැරයක් කරන්නේ නෑ යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon