ලෝකය ඉදිරියේ 'බරපතළ මානවීය අර්බුදයක්'

  👤  1768 readers have read this article !
Published by : MB WEB 2017-03-13 12:10:47

1945 වසරෙන් පසු බරපතළම මානවීය අර්බුදයට ලොව මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම මහා ව්‍යසනය වළකා ගැනීම සඳහා සහායවන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු පිළිබඳ ප්‍රධානී ස්ටීවන් ඔබ්‍රියන් කියා සිටියේ යේමනය, සෝමාලියාව, දකුණු සුඩානය සහ නයිජීරියාව යන රටවල කෝටි දෙකකට අධික පිරිසක් හාමතින් සහ සාගතයෙන් පෙළන බවය.

මේ වසර තුළ දරුවන් දාහතර ලක්ෂයක් සාගින්න හේතුවෙන් මිය යෑමේ අවදානමක සිටින බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) දැනටමත් අනතුරු අඟවා තිබේ.

එම ව්‍යසනය වළකා ගැනීම සඳහා මේ වසරේ ජුලි මාසය වනවිට ඇමරිකානු ඩොලර් හාරසිය හතළිස් කෝටියක මූල්‍යාධාර අවශ්‍ය කෙරෙන බව ස්ටීවන් ඔබ්‍රියන් පෙන්වා දෙයි.

"රටවල් හතරක් පුරා වෙසෙන දෙකෝටියකට අධික ජනතාවක් කුසගින්නට සහ සාගතයට මුහුණ දී සිටිනවා" යනුවෙන් කී ඔහු එම තත්වය වළකා ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමූහික ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එම පුද්ගලයන් කුසගින්නෙන් සහ ලෙඩරෝගවලට ගොදුරුවී මිය යනු ඇති බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි 2017 වසරේ මේ දක්වා මූල්‍යාධාර වශයෙන් ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් ලක්ෂ නවසීයක් පමණි.

ඉහත කී රටවල් හතර සඳහා මූල්‍යාධාර වැඩි වශයෙන් ලබා දෙන ලෙස ස්ටීවන් ඔබ්‍රියන් ඉල්ලා සිටියි.

(BBC පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon