එදා මට මාස දෙකක පඩි දීල අස්කළා

  👤  1916 readers have read this article !
Published by : MB WEB 2017-03-12 10:46:42

ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වන මොහොතක අදාළ කණ්ඩායම්වල පුහුණුකරුවන්ගේ භූමිකාව පිළිබඳවද කතා බහට ලක්වන නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය මෙහි පැවැත්වෙන සමයේදී දෙපිලේ පුහුණුකරුවන් ගැන මාතෘකා ඇතිවීම වැළැක්විය නොහැකිය. ඊට හේතුව බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරුවා ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ වීමත් ක්‍රිකට් කළමනාකරු නම් නව තනතුරකට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරටත් උඩින් අසංක ගුරුසිංහ පත්කර සිටීමත්ය. කෙසේ වෙතත් හතුරුසිංහ තමන්ට රිසි පරිදි ඔහුගේ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස තිලාන් සමරවීරත් අභ්‍යාසක තනතුරට මරියෝ වෙල්ලවරායන්ද පත්කර ගැනීමට කටයුතු කළ අතර හතුරුසිංහ "මව්බිම" ට කියා සිටියේ ප්‍රතිඵලයට වගකිවයුත්තේ තමන් නම් ඊට අදාළ පෙර තීරණද තමන් විසින්ම ගත යුතු බවයි. ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේදී පැවැත්වෙන අතර වාරයේ අප සමග එක්ව කළ කතා බහ මෙසේය.

ඔබට බංග්ලාදේශ පුහුණුකරු තනතුර භාරගැනීමත් සමඟ පැවැරී ඇති වගකීම් පිළිබඳව විස්තරයක් කළොත්?

හැම දේම එකපාරටම ලැබුණෙ නැහැ. මුලින්ම ලැබුණෙ කණ්ඩායම පුහුණු කරන්න. මම එහෙට ගිහිල්ල මුල් මාස තුනේ විතර ක්‍රීඩකයන්ගෙ දක්‍ෂතා වැනි කාරණාවල අධ්‍යයනයක යෙදුණා. පළමු සංචාරය බටහිර ඉන්දීය කොදෙව්වලට ගිය වෙලාවෙත් මම බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් ගැන අධ්‍යයනයක් කළා. ඊට පස්සෙ මගේ අදහස් බංග්ලාදේශ පාලක මණ්ඩලයටත් තේරීම් කමිටුවටත් ලබා දුන්නා. ඔවුන් මගේ යෝජනා අදහස් අනුව මම තේරීම් කමිටුවට පත්කරල ක්‍රීඩකයන් තෝරල දීල මම බලාපොරොත්තු වන විනයක් අනුව කටයුතු කරන්නට මට සියලුම පහසුකම් දුන්නා.

බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඔබගේ සේවා කාලය කොතෙක්ද?

දැන් අවුරුදු 2යි මාස 6ක් ගතවෙලා තිබෙනවා.

හැමදාමත් බංග්ලාදේශයේ මෙම රැකියාවෙ යෙදී ඉන්නද අදහස?

නැහැ. තව අවුරුදු දෙකයි මාසයක් විතරයි මගේ මේ සේවා කාලය තියෙන්නෙ. ඊට පස්සෙ ආයෙමත් යනවා ඕස්ට්‍රේලියාවට. එහේනේ මම ජීවත් වෙන්නෙ.

පහුගිය කාලෙ ආරංචි පැවැතුණා හතුරුසිංහ නැවතත් පුහුණුකරු රාජකාරියට ලංකාවට එනවා කියල. ඒ කතාවෙ ඇත්තක් තියෙනවද ?

පසුගිය අතුරු කමිටු පාලන කාලෙක මගෙන් ඒ විදියෙ අදහසක් විමසුවා. ලංකාවට එනවා නම් මගේ කොන්ත්‍රාත්තුවෙ ආකාරය ගැන මාත් එක්ක කතා කළා විතරයි. ඒක එතරම් දුර දිග ගියේ නැහැ.

ශ්‍රී ලංකාව පැත්තෙන් කවුද ඔබ සමඟ ඒ සම්බන්ධව කතා කළේ?

එහෙම කියන්න බැහැ. ඒක කියන්න අමාරුයි. මම ඒක කියන එක හොඳ නැහැ. සදාචාරාත්මක නැහැනේ..

එදා හිටපු සහකාර පුහුණුකරු තනතුරත් රටත් හැර දාල යන්න ඔබට එදා හේතු පාදක වූ කරුණු අද වන විට පහවෙලාද?

දන්නෙ නැද්ද? එදා මම රටින් ගියේ මම අස්කළ නිසානේ. මට මාස දෙකක පඩි දීල අස්කළා. මට බලාගන්න දරු පවුලක් ඉන්නවා නේ. ඒ නිසා ජොබ් එකක් කරන්න ඕන. ලංකාවෙ ක්ලබ් එකක කෝච් කරල ජීවත් වෙන්න බැහැ නේ. ඒ නිසා මම පවුලෙ අයත් එක්ක ඕස්ට්‍රේලියාවට ගියා.

ඒ වෙලාවෙ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඔබව තියාගන්න කියල ඉල්ලීමක් කළා නේද?

ඒ ගොල්ලො මගෙන් ඉල්ලීමක් කළේ නැහැ. මුරලිල, සංගල ඒ වෙලාවෙ හිටපු පාලක මණ්ඩලේ ඩී.එස්.ද සිල්වාගෙන් නිෂාන්ත රණතුංගගෙන් මම ගැන ඉල්ලීමක් කළා කතා කළා.

ඒ ඉල්ලීම් ගැන ඇහැව්වෙ නැහැ?

ඇහැව්ව නම් මම ඉන්නවා නේ..

දැන් ඉන්න ක්‍රිකට් පාලකයොත් කියන්නෙ රටේ ක්‍රිකට් දියුණු කරන්න හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ උපරිම දායකත්වය ගන්නව කියල නෙ. ඒ අනුව නැවත ලංකාවට ඇවිත් වැඩකරන්න කීවොත්?

ඔව්. මට එහෙම අවස්ථාවක් ලැබුණු දවසට මම එනවා. හේතුව මට මේ තත්ත්වයට එන්න ලැබුණෙ මේ රට නිසානේ. මම ක්‍රිකට් ගැහැව්වෙ මෙහේ නේ. මම ඉගෙන ගත්තෙත් මෙහෙනේ. අවුරුදු 18 ක් 20ක් දැනුම ලැබුණෙ මෙහෙන්. පස්සෙ ඕස්ට්‍රේලියාවට ගිහිල්ල එහෙනුත් දැනුම ලබා ගත්තා. එහෙටත් කලක් වැඩ කළා. ඇත්තටම මමත් මේ රටට දෙයක් කරන්න ඕන.

වර්තමානයේ ලංකාවේ ක්‍රිකට් ගැන ඔබ දකින විදිය කොහොමද?

අපි හැම තිස්සෙම හිතනවා ඉන්න කට්ටිය ගියාම ක්‍රිකට් නැති වෙයි කියල. එහෙම වෙන්නෙ නැහැ. රෝයි, සිදත්, දුලිප්ල ගහන කාලෙ හිතුවා ඒ ගොල්ලො ගියාම ක්‍රිකට් නැතිවෙයි කියල. ඊට පස්සෙ අරවින්ද, ගුරුසිංහ, රොෂාන්, හෂාන් වගේ අය ආවා, ඊට පස්සෙ සනත්, මාවන්, මුරලි, වාස්. ඊට පස්සෙ සංගා, මහේල වගේ අය. මුරලිගෙන් පස්සෙ අපිට මැචස් දිනන්න අමාරු වෙයි කියල හිතුවා. එහෙම වුණේ නැහැ. රංගන හේරත් ආවා.මුරලි ඉන්න කාලෙ මැචස් දිනන්න බැරි රටවලට ගිහිල්ල රංගන මැචස් දිනෙව්වා. එහෙම බැලුවාම ලංකාවෙ ක්‍රිකට්වල පාසල් ක්‍රිකට් ක්‍ෂේත්‍රය කියන්නෙ ක්‍රීඩකයන් බිහිකරන හොඳ තෝතැන්නක්. අද දිවා විවේකය වෙලාවෙ පාසල් ක්‍රීඩකයො පුහුණු වෙනවා මම දැක්කා. ඔවුන් සෑහෙන සහජ දක්‍ෂතාවන් ඇති දරුවන් බව මට පෙනුණා. ඒ වගේ යහපත් ක්‍රිකට් සංස්කෘතියක් මේ රටේ තියෙනවා. දැන් ඉන්න ක්‍රීඩකයො බලන්න. කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට 176ක් ගහල තරගය දිනෙව්වා. අද අපටත් 194ක් ගැහැව්වා. මැච් එක දිනවන ඉනිමක්. එයා ඒක ගැහැව්වෙ නැත්නම් වෙනස් තත්ත්වයක් ලංකාවට උදා වෙන්න තිබුණා. ක්‍රිකටර්ස්ල එනවා. ඒ අයට හරියට මඟ පෙන්වන්නයි හරියට යොදවා ගන්න එකයි අපි කරන්න ඕන.

ජාතික ක්‍රිකට් පුහුණුකරුවා තේරීම් කමිටුවේ ස්ථිර සාමාජිකයෙක් වෙලා ඉන්නෙ බංග්ලාදේශෙ පමණක්ද?

නැහැ. ඕස්ට්‍රේලියාවෙත් නවසීලන්තයෙත් පුහුණුකරුවො ජාතික තේරීම් කමිටුවෙ ඉන්නවා. මම හිතන්නෙ මම නම් වගකියන්න ඕන මම නේ ඒ ගැන තීරණ ගන්නත් ඕන. අනුන් කරන වැඩවලට මට වගකියන්න බැහැනේ. මොන විදියෙ ක්‍රීඩකයෝ ඕනද කියල මම දැනගන්න ඕනනේ. ඊට පස්සෙ ප්‍රතිඵල අහන්නෙ මගෙන් නේද. කොහොම වුණත් ලංකාව 96දී කරපු දෙයක් කරන්නයි මගේ ඉලක්කය වෙන්නෙ.

සිරිනාම රාජපක්‍ෂ
ඡායාරූපය _තාරක බස්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon